සිංහ ලකුණක් සොයා

කතෘ : විරාජ් රත්නප්‍රිය
කතෘ හා සම්බන්ද වන්න : viraj_rathnapriya@yahoo.com
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
අප්‍රේ, 2009 1 4 හවස වැස්ස CJ5 ජීප් රථය
මාර්ගය
කොළඹ / වේයන්ගොඩ -> නාරම්මල -> කඩහපොල -> වාරියපොළ -> පාදෙණිය -> දළදාගම -> මහව ->යාපහුව
නවාතැන
අවශ්‍ය උනේ නැත
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • ඔබගේ පාසටහන් පමණක් ඉතිරි කරන්න. ඔබ සමග ගෙනයන අන් සියල්ල ආපසු රැගෙන එන්න.

  • යාපහුව පිය ගැට පෙළ ඉතා දැඩි ආනතියක් සහිත බැවින් කුඩා ළමුන් සමග ගමන් කිරීමෙදි පරිස්සම් වීම වැදගත්

  • පර්වතය තරණය කිරිමට බලාපොරොත්තු වන්නේ නම් ජලය රැගෙන යාමත් කුඩයක් වැනි අව් වැසි ආවරණයක් රැගෙන යාමත් වැදගත්

පිදුම, සංචාරයට රුචි ඔබ සැමට

ඉද්ද ගැසුවා වගේ කෙලින් තියෙන පාරේ තිබුන පුංචි රැලි ගැටිති ගැන කිසිම තැකීමක් නැතිව වගේ අප රැගත් ජීප් රථය වේගයෙන් ඉදිරියට ඇදුනා. කඩහපොල හන්දියේ ඉඳන් වාරියපොළ කිට්ටුවට යනතුරු කිලෝ මීටර 18 කට වැඩි දුරක් එක එල්ලේ දිවෙන මෙම අතුරු මාර්ගය; මට හුරු පුරුදු උනත් මගේ ගමන් සගයින් වෙච්ච බුද්ධික සමන් සහ චමිලා හටනම් අලුත් අත්දැකිමක් වූ බවක් පෙනුණා.

“අන්න අතන වැව් තලාව – තේ බොන්නට හොඳ වෙලාව “ කෙනෙකුට පිපාසයක් දැනිලා, වැවක් දැක්ක විතරයි.

ඊළඟ මොහොතේ අප රැගත් ජීප් රථය වැව් බැම්මක් මතින් දිවෙන පටු ගුරුපරක් දිගේ ටික දුරක් ගොස් වඩා මිටි තැනකින් වැව් පිටියටම ඇවිත් ගිමන් හැරියේ අපිට සිත්සේ තේ බොන්න ඉඩ සලසමින්. මේ වගේ ගමනකට කාන්තාවක් එකතුවුන එකේ වාසිය මෙනෙහි කරමිනුයි අප උනුසුම් බෝතලයෙන් ඉඟුරු තේ වත්කර ගත්තේ.

වාරියපොළ තමයි මෙම චාරිකාවේදී අප පහුකරපු ප්‍රධානම නගරය. වා – රිය – පොළ කියන්නේ වාතයෙන් දිවෙන රිය නවත්වන ලද ස්ථානය. වෙනත් විදිහකින් කිව්වොත් රාවනා රජ්ජුරුවන්ගේ දඬුමොනරය නවත්වන ලද ස්ථානය. ජනප්‍රවාද වලට අනුව මේ වගේ ස්ථාන කීපයක් ලංකාවේ විවිධ ප්‍රදේශ වල තියෙනවා. මේකත් එයින් එකක්.

මහ පාරේ තිබුන පුංචි පුංචි අගල් වගේම රාජධානියක් වටකර තනපු මහා දිය අගලත් පහුකරගෙන අපි නැගෙනහිර දොරටුවෙන් යාපහුව රාජධානියට ඇතුලු වුණා. ඇතුළුවන තැනම ආරක්ෂක පවුර අසලින්ම ජීප් රථය ගාල් කරපු අප දෙවෙනි පව්රත් පසුකරගෙන ඉපැරණි මාලිගා සංකීර්ණය වෙත පියමැන්නා. මෙතන ඉඳන් තියෙන්නේ අලංකාර වගේම භයංකාර පියගෙට පෙළක්. නගරයේ පුටුරත්කරන කුසීත කාර්යාල ජීවිත වලට පුරුදු වෙලා ඉන්න බොහොම දෙනෙකුට මෙම සීග්‍ර නැග්මක් සහිත පියගැටපෙළ පිරිනමන්නේ මහත් අභියෝගයක්.

ඇතුළුවන තැනම ආරක්ෂක පවුර අසලින්ම අප ජීප් රථය ගාල් කලා

මෙතන ඉඳන් තියෙන්නේ අලංකාර වගේම භයංකාර පියගෙට පෙළක්

මෙම අලංකාර පියගැටපෙළ පිළිබඳව Wikipedia නිදහස් විශ්වකෝෂයේ සදහන් වෙන්නේ මෙහෙමයි

“යාපහුවේ ඇති වාස්තු විද්‍යාත්මක සහ කලාත්මක අංග සියල්ල ‘දළදා මාළිගය’ නමින් හැදින්වෙන ගොඩනැගිල්ල සහිත මළුවට පිවිසෙනු සඳහා වූ පියගැට පෙළත් එහි ඉහළ අන්තයේ වූ ද්වාර මණ්පයත් අලංකාරවත් කිරීම මූලික අභිප්‍රාය කොට ගත්තේ වේ. මෙය කෙතරම් විස්තීරණ නිමැවුමක් ද යත් මේ විසිතුරු පියගැට පංතියේ ස්වරූපය විස්තර කිරීම පවා අසීරුය. ගලින්කළ වාමනරූප, නලඟනන්ගේ රූප, කාන්තා රූප, දොරටුපාල රූප, පුන්කලස්, ලියවැල්, කොරවක් ගල්, කූඩ්‍ය ස්ථම්භ, කිඹිහි මුහුණ සහිත තොරණ, ගජසිංහ කොරවක් ගල්, නටන වයන රූප ආදියෙන් සුසැදි පියගැට පෙළ යාපහුවේ විස්මිත නිමැවුම් වන අතර දෙපසෙහි අත්වැල මත නිමවූ ‘සිංහ මූර්ති’ යුගලය එහි වටිනාකම තවත් වැඩි කරවන්නකි. ( විසිතුරු පියගැට පෙළෙහි ඇති මෙම සිංහ මූර්ති දෙක අතරින් නැගෙනහිර පාර්ශවයේ අත්වැල මත වන සිංහ රුව සම්පූර්ණයෙන්ම නිමකර ඇති අතර දකුණු පාර්ශවයේ සිංහ මූර්තිය සම්පූර්ණ වශයෙන් ඉදිකර නැත.) මීට අමතරව ද්වාර මණ්ඩපයේ උළුවස්සත්, ත්‍රිත්ව කුළුණු සහ මකර තොරණත් යාපහුවේ වාස්තු විද්‍යාව සහ කලාව ලොවට හඩගා කියන්නක් වෙයි.”

නගරයේ පුටුරත්කරන කුසීත කාර්යාල ජීවිත වලට පුරුදු වෙලා ඉන්න බොහොම දෙනෙකුට මෙම සීග්‍ර නැග්මක් සහිත පියගැටපෙළ පිරිනමන්නේ මහත් අභියෝගයක්

පළමු වේදිකාව

ද්වාර මණ්ඩපය වෙත දිවෙන පිය ගැටපෙළ

යාපහුව අයිති වෙන්නේ අපේ පැරණි රාජධානි වලින් පර්වත /බලකොටු රාජධානි කියන ඝනයට. ඒ අතරින් පැරණිම සහ වඩා වටිනාම රාජධානිය සිගිරිය උනත් ඊට ශතවර්ෂ දහයකටත් වඩා පසුකාලයක මෙවැන්නක් කරපු නිර්මාණ ශිල්පීන්ටත් සීගිරි ශිල්පීන්ට ලබාදෙන වටිනාකමින් භාගයක්වත් ලැබෙන්න ඕන.

මම දන්නා තරමට පර්වත/බලකොටු රාජධානියක් මුලික වශයෙන්ම සුවිසල් පර්වතයක රැකවරණය මුල් කරගෙන පිහිටවගනු ලබන්නක්. මෙහිදී පර්වතය තනි එකක් (Isolated) වීමත් යාබඳ පැති කිහිපයක් දල බැවුමක් සහිත වීමත් ආරක්ෂාව සඳහා ඉතා වැදගත්. මෙමගින් ආරක්ෂක අගලෙහි සහ පවුරෙහි දිග අඩුවෙනවා සේම සතුරු ආක්‍රමණයකදී ආරක්ෂා කලයුතු කලාපය කුඩා වෙනවා. යාපහුවෙහි පවුරු සහ අගල් අශ්ව ලාඩමක හැඩයට ගොඩනගල තියෙන්නේ ඒ අනුවයි. මිනිසා සතු ආරක්ෂාව පිලිබඳ වූ සහජ අවශතාවය අපේ මුතුන් මිත්තන් සපුරාගෙන ඇති ආකාරය පිළිබඳව හොඳ නිදසුනක් තමයි මේ.

ගල් කැටයම්

ගල් කැටයම්

සිංහ මූර්තිය

සිංහ මූර්තිය

ද්වාර මණ්ඩපය

ද්වාර මණ්ඩපය

කොරවක්ගල

ද්වාර මණ්ඩපයේ උළුවස්සත්, ත්‍රිත්ව කුළුණු සහ මකර තොරණත් යාපහුවේ වාස්තු විද්‍යාව සහ කලාව ලොවට හඩගා කියන්නක් වෙයි

ද්වාර මණ්ඩපයෙන් දළදා මළුවට පැමිණි අප පෙර සුදානමක් ඇතිව පැමිණ නොසිටියත්; පර්වතය තරණය කිරීම සදහා පසෙකින් වූ අඩිපාර ඔස්සේ ඉදිරියට ඇදුනා. වන ගහනය මැදින් වැටුන අඩිපාර ටිකෙන් ටික අපව ඉහලට රැගෙන ගියේ විටින් විට අවට තැනිතලාවේ දර්ශනයෙන් අපව කුල්මත් කරවමින්.

අප පර්වතය තරණය කිරීම සදහා පසෙකින් වූ අඩිපාර ඔස්සේ ඉදිරියට ඇදුනා.

අඩිපාර ටිකෙන් ටික අපව ඉහලට රැගෙන ගියේ විටින් විට අවට තැනිතලාවේ දර්ශනයෙන් අපව කුල්මත් කරවමින්

වන ගහනය අවසානයෙදි පර්වතය මතට යාම සදහා සකස්කරන ලද පියගෙට පෙළ මත මොහොතක් ගිමන්හල අපව තවදුරත් ඉහලට නොයවා පහලට හරවා එවීමට අප අසලම වාගේ පුපුරා හැලුන අකුණු සැරයට පුලුවන් උණා. ඒ විතරක් නොවෙයි පැයකට වැඩි කාලයක් තරමක් පහලින් තිබුන ගල්කුලකට මුවා වෙලා; අඩුම තරමින් කුඩයක්වත් නැතිව මේ ගමන ආපු එක ගැන කණගාටු වෙන්නත්, අන්තිමේ බැරිමතැන වැස්සේ තෙමි තෙමි පල්ලම් බහින්නත් අපට කරුණු කාරණා සිද්ද උණා.

පර්වතය මතට යාම සදහා සකස්කරන ලද පියගෙට පෙළ

කොහොම උනත් අනෙක් කාටත් ඔහොම වෙලාවක සිද්දවෙනවා වාගේ පහල මළුවට අප ළඟාවනවිට වැස්සත් තමන්ගේ කටයුත්තේ අවසානය දකිමින් හිටියා. මේ රාජධානිය ඇතුලේ තියෙන කටාරම් සහිත ලෙන් වලට අමතරව නුතන විහාරයක් දකින්න පුළුවන්. ඒක නුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් කරවපු එකක්.

මේ රාජධානිය ඇතුලේ නුවර යුගයේ විහාරයක් දකින්න පුළුවන්

මේ ඔක්කොටම අමතරව නිතර සංචාරකයන්ගේ ඇස නොගැටෙන ඒත් රාජධානිය තුලම පිහිටිය ඉපැරණි ශෛලමය බෝධිඝරයක් නරඹන්නත් අපට අවස්ථාව ලැබුනා. මේක පිහිටලා තියෙන්නේ පෙර කී පන්සලට යාර සියයක් විතර දුරින්.

ඉපැරණි ශෛලමය බෝධිඝරයක් නරඹන්නත් අපට අවස්ථාව ලැබුනා

මේ කාරණා ඔක්කොටම පස්සේ තෙමිච්ච ඇදුම් මාරුකරගෙන අපි යාපහුවෙන් සමුගත්තේ එයින් සැතපුම් කිහිපයක් දුරින් පිහිටි කට්ටම්බුවාව කියන ගමට යන්න. මේ ගමේ නම කාරණා කිහිපයක් නිසා ප්‍රචලිතයි. පසුගිය රජයක දහසක් වැව් වැඩපිළිවෙල ආරම්භ උනේ මේ ගමින්. ඒ වගේම අබා චිත්‍රපටයේ බොහෝ දර්ශන රූපගත කරලා තියෙන්නෙත් මේ ගම ඇසුරු කරගෙනයි. තවද බොහොම ලඟදි ගල්තලාවක් පුපුරලා භූගර්භ විද්‍යාඥයෝ විශේෂ පර්යේෂණ කලෙත් මේ ගමේම තමයි. ඒත් අප මේ ගමට ගියේ හිතවතෙකුගේ ආරාධනාවක් අනුවයි. ආරාධනය රජරට වැවකින් හොඳහැටි ගිලිලා නාලා; දාහය නිවාගෙන; නෙලුම් කොලේක වැව්මාලු එක්ක කැකුළු හාලේ බත් වේලක රස බලන්නයි. එහෙම ආරාධනයක් පිළිනොගෙන ඉන්න පුළුවන් මොන සිංහලයාටද?

ජය වේවා!

හොඳද නරකද කියන්න මෙතන කොටන්න

ගොනු කර ඇත්තේ: කඳු තරණයවන්දනා ගමන්සංස්කෘතික සවාරි

Tags:

RSSComments (8)

Leave a Reply | Trackback URL

  1. gayan says:

    කට්ටිය වැඩ පටන් ගෙන වගේ නේ. හොදයි හොදයි වැඩේ දිගටම කරගෙන යන්න කියලා සුභපතනවා. ඒ වගේම මෙම සටහන ගැන විරාජ් අයියාටත් ස්තුති කරනවා.තව හොද දේවල් ඉදිරියේදි බලාපොරොත්තු වෙන් තමයි ඉන්නේ හොදේ.

  2. Amila says:

    බොහොම ස්තුති. නියම වාර්තාව.
    ඔබට ජය

  3. Ruwan says:

    we need like this creative idea for the promote our ancient and tourism

    Thanks to the crew

Leave a Reply

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.