මා ඔය හරස් වනසේ යකා බැඳි ඇල්ල

කතෘ : විරාජ් රත්නප්‍රිය
කතෘ හා සම්බන්ද වන්න : viraj_rathnapriya@yahoo.com
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
2011 සැප් 1 2 අවුව ඇති CJ5 ජීප් රථය
මාර්ගය
කොළඹ / වේයන්ගොඩ -> දිවුලපිටිය -> කොටදෙනියාව -> යකාබැදි ඇල්ල
නවාතැන
අවශ්‍යවූයේ නැත
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • බිමට ජලය රැගෙන යාමත් කුඩයක් වැනි අව් වැසි ආවරණයක් රැගෙන යාමත් වැදගත්.

  • වර්ෂා කාලයකදීනම් මා-ඔයෙහි ස්නානය කිරීමෙන් වැලකීම ඉතාම වැදගත්

  • වියලි කාලගුණයක් සහිත සහ නදියෙහි ජලමට්ටම පහල ගොස් ඇතිවිටකදී ස්නානය සදහා මෙම ස්ථානය යෝග්‍ය වන අතර ආරක්ෂිත නාන තොටුපල පිලිඹදව ගම්වාසීන්ගෙන් විමසා සිටීම වැදගත්.

  • ඔබගේ පාසටහන් පමණක් ඉතිරි කරන්න. ඔබ සමග ගෙනයන අන් සියල්ල ආපසු රැගෙන එන්න.

පිදුම, සංචාරයට රුචි ඔබ සැමට.

බොහොමයක් මාගේ සංචාරක ලිපි, සාමාන්‍ය සංචාරකයන්ට; වෙසෙසින් පවුල් වශයෙන් සංචාරයේ යෙදෙන්නන්ට ලගාවීම අපහසුවූ අසීරු සංචාරක ස්ථාන වෙත කෙරුණ සංචාර පිලිඹදව ලියැවුන ඒවා බවට නිරන්තරයෙන් මා ලක්වන චෝදනාවට පිලිතුරක් වශයෙන් පහසු එක් දින සංචාරයක් මෙසේ සංච‍ාරක සටහන් පෙලට එකතු කල නමුදු හොද කැමරාවක් අත නොපැවතීම කරණකොට උසස් තත්වයේ ඡ‍ායාරූප පෙලක් ඔබවෙත තිලිණ කිරීමේ අවස්ථාව මගහැරීගිය බව ඔබගේ දැනගැනීම සදහා මෙසේ සටහන්කර තබමි.෴

වේලාව පස්වරු දෙකත් පහුවෙලා. තරමක් ප්‍රමාද වෙලා ගමන ආරම්භකලාට මොකද රෑ වෙන්නට කලින් යන්න තිබ්බ දුරනම් ටිකක් වැඩියි. හරියටම කිව්වොත් ගල්ගමුවෙනුත් කිලෝමීටර 20කට වඩා දුරින් පිහිටි මහකත්නෝරුව කියන සුන්දර ගම්පලාත තමයි අපේ දවසේ ගමනාන්තය වුනේ. හවස 5.00න් පසුව නිරතුරුව වල්අලි ගැවසෙන පටු බොරළු මාර්ග කිහිපයක්ම ඔස්සේ අපේ ගමන් මාර්ගය වැටීතිබුන නිසාවෙන් අතරමග ප්‍රමාදවීම් ඇතිකර නොගෙන; හැකි තරම් වේලාසනින් අපේ ගමනාන්තයට ලගාවනලෙස තමයි ගමන පිටත්වීමට මත්තෙන් අ‍පේ ගෙවල්වල ආණ්ඩුකරවන ඇත්තන්ගේ නියෝගය වුනේ. ඒත් අර උණපුරුකේ දැම්මත් බලුවලිගයේ ඇදය අරින්නට බැරිය කියලා කතාවක් ති‍යෙනවානේ. ඒ කතාව ආයෙත් වතාවක් සනාථ කරමින් කොටදෙනියාව පසුවෙත්දී තවත් සුන්දර සංචාරක ස්ථානයක් ගැන හදිසියේ ලැබුන තොරතුරක් නිසාවෙන් අ‍පේ ගමනෙහි පෙර සැලසුම් සියල්ල ඊලග මොහොතේදී නොපිට පෙරළුනා.

කුඩා පාරකට වාහනය හරවා

ජාඇල සිට කුරුණෑගල දක්වා දිවෙන අංක 05 මාර්ගයේ 35 වෙනි කිලෝමීටර කනුව පසුකල පසුව හමුවූ කුඩා බොරළු පාරකට අපේ වාහනය හරවන ලද්දේ මාර්ගයේ නිවැරදිතාව ගැන හිතේ පුංචි විචිකිච්ඡාවක්ද ඇතිවයි. ඒත් එතැනින් තවත් මීටර 500 ක පමණ දුරකදී හමුවූ ශිඔඉරි ගකුජින් හිනොදෙ ළදරු පාසලෙහි නාමපුවරුව අපගේ සැකය දුරුකර, මාර්ගය නිවැරදි බවට තහවුරුකල නිසාවෙන් අපට තවදුරටත් ඉදිරියටම ධාවනයේ යෙදීමේ හැකියාව ලැබුනා. (කුඩා වාහනයක් නම් පාසල් බිමෙහි රථගාලින් ඔබ්බට ධාවනය කිරීම නුවණට හුරුනොවේ) තරමක රළු මාර්ගයක තවත් මීටර 200 ක පමණ දුරක් ධාවනය කල අප සුළුවේලාවකින් මා-ඔය ඉවුර අද්දරටම සේන්දුවුනා.

ළදරු පාසලෙහි නාමපුවරුව

අප සුළුවේලාවකින් මා-ඔය ඉවුර අද්දරටම සේන්දුවුනා

ඉවුර දිගේ පහලට දිවුන පටු අඩිපාර දිගේ පහලට බැස්ස අපට මා-ඔය මධ්‍යම ප්‍රමාණයේ ජල ධාරිතාවක් සහිතව මද බොරපැහැගත් ජලයෙන් යුක්තව පහල බලා ගලාබසිනු දැකගන්නට ලැබුණා. අප ඔයට ඇතුළුවූ ස්ථානය අවට ජලයෙහි විශාල ප්‍රමාණයේ ගල්කුළු විසිරී ඇති ආකාරයක් දැකගත හැකිවූ නමුත් පුදුමයකට මෙන් එයට මීටර 25 ක් පමණ උඩුගං පෙදෙසෙහි එකදු ගල්කුලක් වත් දැකගැනීමට තිබුනේ නැහැ. එම පෙදෙස තටාකයක ලක්ෂණ පෙන්නුම් කලත් ජලය බොරව පැවති හෙයින් එහි ගැඹුර ගැන නිගමනයකට එන්නට අපට හැකියාවක් තිබුනේ නැහැ.කොහොම උනත් මෙම තටාකයෙහි පහල සීමාවෙහි සුවිසල් ගල්කුළු අනියමිත අයුරින් එකලස් කරමින් නදිය හරහා තැනි බැම්මක් වැනි ව්‍යුහයක ශේෂයන් දැකගත හැකිවුනා.

අවට ජලයෙහි විශාල ප්‍රමාණයේ ගල්කුළු විසිරී ඇති ආකාරයක් දැකගත හැකිවිය

මීටර 25 ක් පමණ උඩුගං පෙදෙසෙහි එකදු ගල්කුලක් වත් දැකගැනීමට තිබුනේ නැහැ

මේ මහා ගල් පුවරු යුගල, සුදුපැහැති බදාමයකින් අලව‍ා ඇතැයි ගැමියන් විශ්වාස කරනව‍ා

නැවත ඉවුරට ගොඩවෙමින් තවදුරටත් උඩුගං දිශාවට ගමන් කල අපට මේ අරුම පුදුම සුවිසල් ශෛලමය නිර්මාණය මතට ගොඩවදින්නට අවකාශය ලැබුනා. ඇත්තෙන්ම පුදුමයි. අඩි පහලොවක පමණ පලලට සිටින ආකාරයට සුවිසල් ගල්කුළු වලින් නිර්මාණය කරනලද වේල්ලක හෝ ගග හරහා තැනි පාලමක නෂ්ඨාවශේෂ වම් සහ දකුණු ඉවුරු යුගලයේම පැහැදිලිව හදුනාගත හැකි ලෙස ශේෂව පැවතුණා. ගඟ පහල විසිරී තිබූ ගල්කුළු, මෙම වේල්ලෙහි අවශේෂයන් ලෙස විස්වාස කරන්නට අපේ ඇස් අපට බලකලා.

යකා බැදි වේල්ල සහ මාඔය

ගඟ පහල විසිරී තිබූ ගල්කුළු, මෙම වේල්ලෙහි අවශේෂයන් ලෙස විස්වාස කරන්නට අපේ ඇස් අපට බලකලා

සුවිසල් ගල්කුළු වලින් නිර්මාණය කරනලද වේල්ලෙහි නෂ්ඨාවශේෂ


ගල්කුළු රහිත උඩුගං පෙදෙසෙහි තටාකයක ලක්ෂණ පෙන්නුම් කලත් ජලය බොරව පැවති හෙයින් එහි ගැඹුර ගැන නිගමනයකට එන්නට අපට හැකියාවක් තිබුනේ නැහැ

කිසිදු ඉතිහාස ලියවිල්ලක සදහන් නොවන මේ නිර්මාණය, ඉතා රළු ලෙස නිමකල එකක් මිස අපගේ බොහොමයක් පුරාතන නිර්මාණයන් මෙන් සුමට නිර්මාණයක් වුනේ නැහැ. ඇත්තටම මේ මොකද්ද ?. අපේ සිත වගේම සියවස් කිහිපයක් පුරා මෙහි පැමිණි සංචාරකයන්ගේ සිත් සතන් වෙහෙසට පත්කල මේ පැණයට පිලිතුරු සපයමින් ජනකථා කරුවා තවත් මන බදින ජනකථාවක් ගොඩනගනු ලැබ තිබුණා.

“එක කාලයක මේ ප්‍රදේශයේ රජකල රජතුමෙකුහට ඉතා ලස්සන දූ කුමාරියෙක් සිටියේලු. ( දඹදෙනි රාජධානිය පැවතියේ මෙම ස්ථානයට වැඩිදුරකින් නොවේ ) රූපශ්‍රිය පිලිඔදව ඇගේ කීර්තිය නිසාම බොහෝ කුමාර වරු ඇගේ අත පතාගෙන ආ නමුදු රජතුමාගේ කොන්දේසි හමුවේ ඔවුන් පසුබැස ගියේලු. ඒ වන විට පුරන්ව පැවතුන මාකදුර මහ වෙල්යාය අස්වැද්දීමත්, යාය මැද ගොඩගසන ලද වී අස්වැන්න මත නැගුණ කල්හි රජතුමාට මහමුහුද දැකගත හැකිතරම් සුවිසල් අස්වැන්නක් ලබාතිබීමත් එම කොන්දේසි වීලු. මේ සුවිසල් වෙල් යාය ඒවනවිට නිෂ්චිත වාරි ක්‍රමයක් නොවීම හේතුකොටගෙන අහස් දිය මත යැපුන එකක් වීලු. එයින් රජතුමාගේ අභියෝගයට සරිලන අස්වැන්නක් ලැබීම කල නොහැක්කක් සදහා දෙනලද උදාහරණයක් වීලු.

කොහොම උනත් පසුව අලව්ව ප්‍රදේශයේ සිට පැමිණි යකෙක් (යක්ෂ කුමාරයෙක්ය කියමුකෝ) රජතුමාගේ අභියෝගය භාරගත්තේලු. (ඔය අලව්ව කියන්නේ බුදුන් වෙතින් දමණය වන ලද ආලවක යක්ෂයාගේ රාජධානිය පැවති ප්‍රදේශය බවටත් මතයක් තියෙනවා)

නිර්මාණයෙහි දක්ෂයකු වූ මෙම යක්ෂයා මෙහි සදහන් ස්ථානයේ වේල්ලක් බැද උමගක් මාර්ගයෙන් මාකදුර වෙල්යාය වෙත ජලය ගෙනගොස් එය අස්වැද්දූ බවත්, අස්වනු කපා පාගා ගොඩගසා මුහුද නැරඹීමට රජතුමන්ට ආරාධනා කලබවත් ජනකථාවේ පැවසේ. තවද අස්වනු කන්ද තරණය කිරීමේදී මුහුද දුටු නමුදු මෙම යක්ෂයාට සිය දූකුමරිය පාවාදීමට රිසි නොවූ රජතුමා, අස්වනු කන්ද මතදී යක්ෂයාට මුහුද දිස්වුවද තමා යක්ෂයාට වඩා උසින් අඩු බැවින් තමාට මුහුද නොපෙනෙන බවත් ඒ අනුව යක්ෂයාට දූකුමරිය හිමිනොවන බවත් ප්‍රකාශකර සිටියේලු. කොතෙක් නිර්මාණශීලී වුවද සටකපටකම් කෙරෙහි දක්ෂ නොවූ යක්ෂයා කණගාටුවෙන් ආපසු ගම්බලා පිටත් වූයේලු.

ඒ යන අතරමග තම සුවිශේෂී නිර්මාණය වූ මාඔය හරහා බැදි අමුණ අසලමොහොතක් නතරවූ පරාජිත යක්ෂයා, රජ ගැටයකට තමන් හසුවූබව අවබෝධවී මහත් චිත්ත ආවේගයකට ලක්ව, තවදුරටත් කිසිවෙකුට නැවත භාවිතාකල නොහැකිවනලෙස, සිය නිර්මාණය සුණුවිසුනු වී යන ලෙසින් පාපහරක් දුන්නේලු.”

මේ සිද්ධියෙහි සත්‍ය අසත්‍යතාව කෙසේවුවද ඒ හා බැදි දේශපාලන යථාර්ථය නම් අදටත් වලංගුය කියනඑක තමයි මේ ජනකථාව අහපු පලමු වතාවෙම මටත් හිතුනේ. ඒ කොහොම වුනත් මෙවැනි ජනශ්‍රතීන් පිලිඹද අධ්‍යයනය කිරීමත් සංචාරක සංස්කෘතියෙහිම තවත් අංගයක් වනබව අමතක කරන්න හොදනැහැ. මොකද එවැන්නකින් යම් සංචාරයකට අමතර වටිනාකමක් එකතුවීම සිදු වන නිසා.

සංචාරයට අමතර වටිනාකමක් එකතුකරන්න කියල‍ා නිධන් හාරන්න යන්න නම් ලැහැස්තිවෙන්න එපා ඔන්න…

ඹබ මෙම ස්ථානයට සංචාරයේ යෙදෙන්නට බලාපොරොත්තු වේ නම් ඒ ආශ්‍රිතව පිහිටා ඇති වැදගත් සංචාරයක ස්ථාන පිලිඹදව දැනසිටීමද වැදගත් වේවි.

( චාරිකා සටහන් ලබාගැනීම සඳහා අදාල මාතෘකාව මත කොටන්න )

1. පනාවිටිය අම්බලම.- මැටියගනේ

2. දඹදෙනිය රාජධානිය

3. දඹදෙනිය රජමහා විහාරය.

4. පඩුවස්නුවර

කොහොම උනත් කන්ඩායම් සවාරියකට වගේම පවුලේ විනෝද සවාරියකටද උචිත ස්ථානයක් ලෙස හදුන්වාදියහැකි මෙම ස්ථානය, මතුපරපුර වෙනුවෙන් ආරක්ෂාකරදීම නම් සංචාරක ඔබ සැමගේත් වගකීමක් වන බව අවධාරණය කලයුතුමැයි.

තවත් මෙවන් කෙටි සංචාරයකින් හමුවනතෙක්…..

 

ජය වේවා!

(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)

ගොනු කර ඇත්තේ: පෞරාණික උරුමය

Tags:

RSSComments (19)

Leave a Reply | Trackback URL

  1. Raj says:

    ඇත්තෙන්ම සුන්දරයි….ඒ වගේම මේ දේවල් අප රැකගතයුතුය…නඩේ ගුරා වගේම මාගේ ඉල්ලීමත්… ඔබ එහි ගියොත් පරිසරය නොකෙලේසා පිංතුර පමනක් රැගෙන එන්ට

    • viraj says:

      බොහෝම ස්තුතියි රාජ්,

      පරිසරය නොකෙලෙසා එහි සුන්දරත්වය අත්විදිමට දේශීය සංචාරකයන්ද දැනුවත්වුවන් වීම නඩේගුරාගේත් පැතුමයි !

  2. admin says:

    නඩේ ගුරා කණ්ඩායම විදිහට වැදගත් සංචාරක සටහන් ඔබ සියලු දෙනා හමුවේ දිග හැරීමට අප කවදත් බැඳී සිටිනවා.
    ඒක නිසා බොහොම ස්තුතියි විරාජ් හරවත් සංචාරක සටහනකින් අපව දැනුවත් කලාට.

  3. Prabhath says:

    විරාජ් සහෝ…

    නියම ලිපියක්. ස්තූතිය්. නියමෙට විග්‍රහ කරලා තියෙනවා. අවශ්‍ය තැන්වලට ගැලපෙන පින්තූරත් එක්ක ලස්සන චාරිකා සටහනක් ඉදිරිපත් කරලා තියෙනවා. {හොඳ තත්වයේ කැමරාවක් නොවුනත් ඔය තියෙන්නේ නියමෙට පින්තූර ටික….. :-)} නැවතත් මාගේ ස්තූතිය.

    ඇඩ්මින් සහෝ

    නඩේ ගුරා.කොම් සයිට් එකේ, වෙනත් චාරිකා සටහන් අඩංගු සයිට් වලට වැඩිය මන් දැකපු විශේෂත්වයන් දෙකක් තියෙනවා. එකක් චාරිකා සටහන කියවන්නාට ඉතාමත් ලේසියෙන් තේරුම් ගැනීමට හැකිවන අයුරින් එම ලිපි පල කර තිබීම සහ එම ලිපි නිසා කිසිම ප්‍රශ්නයක් නැතිව, රස්තියාදු වීමක් නැතිව එම ස්ථානවලට යාමට අපටත් හැකියාව ලැබීම. දෙවැනි එක තමයි ගොඩාක් අපි නොදන්නා තැන වල චාරිකා සටහන් පල කර තිබීම. සමහර චාරිකා සටහන් වල තිබෙන දේවල් මං ජීවිතේට අහලත් නැති තැන්. ස්තූතිය් සහෝ මේ කරන සේවයට

    ප්‍රභාත් අසංක

    • admin says:

      ප්‍රභාත් සහෝදරයා බොහොම ස්තුතියි නඩේ ගුරා ඇගයීමට ලක් කලාට..
      ඒක නෙමෙයි අධි වේගී මාර්ගයේ කිලෝමීටර් 8 ක් කඩනවා කියන්නේ ඇත්තද?

      • Prabhath says:

        ඇඩ්මින් සහෝ

        :-) ….. කොට්ටාව දොඩන්ගොඩ කොටසේ කිලෝමීටර් 8ක් කාපට් එක නියම ප්‍රමිතියට නෑ කියල කඩනවා. කිලෝමීටර් 8ත් එක දිගටම නෙමෙයි, තැනින් තැනින් 8ක් තමයි කඩන්නේ.. එතකොට පැච් ගොඩක් හිටිනවා. පාලම්, බෝක්කු නියම ප්‍රමිතියට නෑ. සල්ලි කාපු ප්‍රොජෙක්ට් එකක් මේක. ඒ වගේම පරිසර හානිය කියල නිම කරන්න බෑ. පගාවට, ජරාවට මුල් තැන දුන්නම හරි ප්‍රමිතියට වැඩක් වෙන්නේ නෑ. අපිත් යම්තාක් දුරට මේ වගේ කාලකන්නි වැඩ වලට උදව් වෙලා තියෙනවා, අපිට කරන්න දෙයක් නැති කමින්. මෙහෙම ගියොත් අනාගතයේ ලංකාව වගේ සුන්දර රටක් ඉතිරි වෙයිද කියන එක නම් ප්‍රශ්නයක්. අනික චීන්නුට තමයි දැන් හැම ප්‍රොජෙක්ට් එකක්ම දෙන්නේ. උන්ගෙ ඉන්න වැඩ බැරි එවුන් තමයි ලංකාව වගේ දුප්පත් රටවල් වලට එවන්නේ. උන්ගෙ හිරකාරයො තමයි ගොඩක් කම්කරුවොත්. උන්ගෙ රටින් දෙන ආධාර මුදල් කොහොම හරි වක්‍රව උන්ගෙ රටටම තමයි යන්නේ. අපේ රට නිකන් ණය වෙනවා. මොනවා කරන්නද සහෝ හිතට සැහෙන දුකක් තමයි.

        ප්‍රභාත් අසංක

    • viraj says:

      හිතවත් ප්‍රභාත්,

      අපේ පුංචි උත්සාහය අගයකිරීම ගැන බොහෝම ස්තුතියි.
      පින්තූරටික ලස්සන කරන්න අපේ අඩ්මින් සොයුරාත් දායකවුනා.

      ජය !

  4. Praසන්ன says:

    නියම ලිපියක්. වැදගත් තොරතුරු ටිකක්. ලස්සන පිංතූර ටිකක්. ස්තුතියි.

    • viraj says:

      හිතවත් ප්‍රසන්න,

      දිරිමත් කිරීම ගැන බොහොම ස්තුතියි.

  5. රූ says:

    තවත් අළුත් තැනක්..
    ස්තුතියි බෙදාගත්තට…

  6. Thushara says:

    නියමය්………………..

  7. irosh says:

    ලස්සන විස්තරයක් බොහෝම ස්තුතියි

    • viraj says:

      ප්‍රිය ඉරෝෂ්,

      අගය කිරීම ගැන බොහෝම ස්තුතියි.
      දිගටම අප සමග රැදීඉන්න.

      ජය !

  8. shadeesh says:

    මකඩුර වෙල් යය ගොඩඉම්බර යොඩය කලකියලි කියන්නෙ

    • viraj says:

      ප්‍රිය සදීෂ්.

      ඔය කතාව මමත් අහලා තිබුනා. ගෝඨයිම්බර යෝධයා ඉඹුරු ගලවලා කුඹුරු යාය අස්වැද්දුවාය කියලා. ඒකත් ඇත්ත වෙන්න පුඑවන්. සමහරවිට මාකදුර වෙල්යාය මුලින්ම හැදුවේ ගෝඨයිම්බර යෝධයා වෙන්නත් පුඑවන්.

      මේ ජනකථා දෙක අතර ගැටුමක් නැහැ. මොකද යකා කුඹුරු අස්වද්දලා තියෙන්නේ ගෝඨයිම්බර යෝධයා හිටපු කාලෙට වඩා අවුරුදු 1000 කට විතර පස්සේ. ඇරත් ජනකථාවට අනුව යකා එතකොටත් පැවතුන (පුරන්) වෙල්යායක් තමයි අස්වද්දලා තියෙන්නේ.

      බොහොම ස්තුතියි

      • විරාජ් says:

        ප්‍රිය සදීෂ්,

        සදීෂ්ගේ කොමෙන්ටුව නිසා මම ගෝඨයිම්බර යෝධයා ගැන ඇති ජනකථා ගැන වැඩිදුරටත් සොයාබැලීමක් කලා. එතකොට මම දැනගෙන හිටපු ජනකථා වලට වඩා වෙනස් කථාවක් අහන්න ලැබුණා. හැමෝගෙම දැනගැනීමට මම කෙටියෙන් ඒක කියන්නම්.

        ගෝඨයිම්බර යෝධයාගේ උපන්ගම දූනගහ-ගොඩිගමුව විදිහටයි සැලකෙන්නේ. ලොකු බත්පිගානක් කාලා, කම්මැලිකමට ගෙදරට වෙලා නිදාගන්නා පවුලේ බඩපිස්සා වූ මේ මිටි හාදයාට වැඩිමහළු සහෝදරවරු නිතර සමච්චල් කලේලු. ඒත් දවසක් බත්මුලක් බැදගෙන කුඹුරක් කොටන්නට කියමින් ගෙදරින් පිටවූ ගෝඨයිම්බර, එක් දිනක් තුලදී මහ කැලයක් හෙලිකර මාකදුර වෙල්යාය තැනුවේලු.

        වෙල්යායට ජලය ගැනීමට මා-ඔය හරස්කර ගස් කදන් දමා අමුණක්ද බැන්දේලු. මේ අමුණ සෑම රාත්‍රියකම කිසිවෙකු විසින් කඩාදමනු ලැබූවෙන් සතුරා අල්ලා ගැනීමට රාත්‍රියක් අමුණ අද්දර රැක සිටි ගෝඨයිම්බරට යෝධ සිරුරක් ඇති යකකු අමුණ බිදදමනු දැකගත හැකිවීලු. යකාගේ බෙල්ලෙන් අල්ලාගත් ගෝඨයිම්බර, ගග හරස්වනසේ යකා තබා ගල් වලින් අමුණ බැන්දේලු. මේ කථාවට අනුව යකාබැදි ඇල්ල යනු එයයි.

        මෙයට වෙනස් කථාවක් දන්නේනම් ඉදිරිපත් කරන්න. අපි එයට බොහොම කැමතියි.

Leave a Reply