ආධ්‍යාත්මික සුවය සොයා යන්නන්ගේ නවාතැන්පොළ – කඵගල ආරණ්‍ය සේනාසනය

කතෘ : සුනෙත් නිර්මාල් විතාරණ
කතෘ හා සම්බන්ද වන්න : snwitharana@gmail.com
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
2012 ජූලි 1 4 වියළි ත්‍රීරෝද රථය
මාර්ගය
අම්බලන්ගොඩ->ඇල්පිටිය->පැලවත්ත->පිටිගල->රණේපුරගොඩ->කඵගල
නවාතැන

විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය දෑ රැගෙන යන්න

  • භාවනායෝගී භික්ෂූන් වහන්සේලාට අවහිර නොවන සේ නිෂ්ශබ්දව හා විනීතව හැසිරෙන්න

  • ඔබගේ පා සටහන් පමණක් ඉතිරි කරන්න. ඔබ සමඟ රැගෙන යන අන් සියල්ල ආපසු රැගෙන එන්න

පිදුම, සංචාරයට රුචි ඔබ සැමට.

කෙත්වතු රබර් වතු මැදින් හැටට හැටේ කරකවපු සංජුගේ ත්‍රීරෝද රථය රණේපුරගොඩ ගමේ නිවසක් ඉදිරිපිට නතර කෙරින. ත්‍රීරෝදයේ ශබ්දය ඇසුණු ගෙහිමි කාන්තාව මිදුලට බැස අපගේ පැමිණීම විපරම් කරන්නට වූවාය. ත්‍රීරෝද රථයෙන් බැසගත් අප අතරින් මුලින්ම හඬ අවදි කළේ අසංක.

“නැන්දා අපි මේ ආරණ්‍යයට යන ගමන් වීල් එක නවත්තලා ගියාට කමක් නැද්ද?”

කරුණාවන්ත මැදිවියේ කාන්තාව සිනහමුසු මුහුණින් කථාවට මුල පිරුවාය.

“පුතාලා කොහේ ඉඳන්ද?”

“අපි මේ අම්බලන්ගොඩ ඉඳං එන්නේ. ආරණ්‍යය බලන්න කියලා ආවේ”

පිළිතුර සනත්ගෙන්.

“කමක් නෑ… කමක් නෑ… දාලා යන්න. ආරණ්‍යයට යන්න තව පැයක් හමාරක් විතර යාවි. දැන්ම ගියොත් දානෙ වෙලාවට කලින් යාගන්න ඇහැක් වේවි.”

“හොඳයි නැන්දා අපි එහෙනම් ගිහිං එන්නම්” කියු අපි ඇයට සමුදී සංචාරයට මුල පිරුවෙමු.

ඉස්සෙල්ලාම කියලා ඉන්නම්කො අද අපි කොහාටද යන්න ලක ලෑස්ති වෙන්නෙ කියලා. මේක සංචාරයක් වගේම වන්දනා ගමනක් වශයෙන් හඳුන්වන්නත් පුඵවන්. මොකද මේ ස්ථානයට එන බොහොමයක් දෙනෙක් එන්නෙ දාන වේලක් පිළියෙල කරගෙන මේ ස්ථානය වන්දනාමාන කරගෙන යන්න. අද අපි මේ යන්න සූදානම් වෙන්නේ කඵගල ආරණ්‍ය සේනාසනයට. ආරණ්‍යය පිහිටලා තියෙන්නේ කඵතර දිස්ත්‍රික්කයේ, සිංහරාජ වනය මැද. කඵගලට පැමිණිය හැකි ප්‍රධාන මාර්ග දෙකක් තිබෙනවා. කොළඹ සිට පැමිණෙන්නෙකුට නම් මතුගමට පැමිණ අගලවත්ත ලත්පඳුර හරහා ගුරුඵබැද්දට පැමිණ එතැන් පටන් වනය මැදින් පාද යාත්‍රා කොට කඵගලට පැමිණිය හැකියි. එසේත් නැතිනම් ගාල්ල දිසාවෙන් පැමිණෙන්නෙකුට ඇල්පිටියට පැමිණ පැලවත්ත, පිටිගල හරහා රණේපුරගොඩට පැමිණ එතැන් පටන් මහ වන මැදින් පාද චාරිකාවෙන් කඵගලට සේන්දු විය හැකියි. අපේ ගමන් මාර්ගය වුයේ පෙර සඳහන් කළ ඇල්පිටිය, පැලවත්ත, පිටිගල හරහා රණේපුරගොඩට වැටී ඇති මාර්ගයයි.

මේ විදියට පාද යාත්‍රාවෙන් කඵගලට ගමන් අල්ලපු අපිට මුලින්ම හමුවෙන්නේ ජොබ්වාන දොළ. කඵගලට දිවෙන මාර්ගය හරහා ගලා බසින මේ දිය පහර පරිසරයට එක්කරන්නේ පුදුමාකාර සුන්දරත්වයක්. ටික වේලාවක් ඒ අසල නතරවුණු අපි එහි සුන්දරත්වය විඳින්නටත් අමතක කළේ නැහැ.

ජොබ්වාන දොළජොබ්වාන දොළ

ජොබ්වාන දොළෙන් එතෙර වුණු අපිට ඊළඟට හමුවෙන්නේ කඳුකර මාර්ගයක්. මේ මාර්ගයේ ගමන් කිරීම නම් එතරම් පහසු කටයුත්තක් වුණේ නැහැ. මොකද බොරඵ වගේම විශාල ප්‍රමාණයේ කබොක් ගලිනුත් මේ මාර්ගය සමන්විත වීම නිසා. තවත් ටික දුරක් ගෙවා දමපු අපිට තවත් විශේෂ කාර්යයක්ද දැකගත හැකිවුණා. රණේපුරගොඩ ගම්වාසීන් එකතුවී ආරණ්‍යය දක්වා දිවෙන දුෂ්කර මාර්ගය පස් දමා සකසමින් සිටියා. නාගරිකව අපට දක්නට නොලැබෙන මෙවන් එකමුතුවක් ගම්බඳව තවමත් ඉතුරුවී පැවතීම ගැන සිතට දැනුණේ ලොකු ආඩම්බරයක්.

මාර්ගය සකසමින්…

තවත් ඉදිරියට ඇදුණු අපිට පලින් බර වුණු රඹුටන් ගස් විශාල සංඛ්‍යාවකුත් මඟ දෙපස දැක ගන්නට හැකිවුණා. දැන්නම් අපි මේ කඳුකර මාර්ගයේ කිලෝමීටරයක පමණ දුරක් ගෙවා දමලයි ඉන්නේ. මහන්සි නම් තමයි ඒත් යහපත් අරමුණකටනේ යන්නේ, ඒ නිසා එක හුස්මටම යමුකෝ ඉස්සරහට.

රඹුටන් වාරේ

තවත් මිනිත්තු කිහිපයක් ඇතුළතදී සිංහරාජ අඩවියට පය ගහන්න අපිට පුඵවන් වුණා. සිංහරාජේ මැදින් යන ගමන ගැනත් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ? දිය සීරාව, කටු පඳුරු, පල්ලම් පහුකර ගෙන මේ යන ගමනත් ලේසි පහසු ගමනක් නම් වුණේ නැහැ. කූඩැල්ලොත් මදි නොකියන්න ඉන්නවා. නමුත් වනගත අසිරියත්, දහස් ගණන් කුරුල්ලන්ගේ විහඟ ගායනාත් විඳිමින් තුරු වියන යටින් ගමන් කරපු අපිට ගමන් වෙහෙස නම් දැනුණේ හරිම අඩුවෙන්.


සිංහරාජය මැදින් කඵගලට…..

සිංහරාජය මැදින් කඵගලට…..

ඔන්න ඔය විදියට ඉස්සරහට ඇදුණු අපිට තවත් දුර්ලභ දර්ශනයක් දැක ගැනීමේ භාග්‍යය උදා වුණා. ගම්මානයට පිණ්ඩපාතය සඳහා වැඩමවූ ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ නමක් වනය මැද්දෙන් ගලා බසින දිය කඩිත්තක් අසල ලැබගත් දානය වැළඳීමට සූදානමින් තෙරුවන් ගුණ සිහි කරමින් සිටින ආකාරය දක්නට ලැබුණා. මේ සංචාරයේදී මම දැකපු අතිශය සුන්දර හා දුර්ලභම දර්ශනය මෙය බවත් සඳහන් කරන්න කැමතියි.

සාදූ…! සාදූ…!! සාදූ…!!!

තවත් පැය භාගයක විතර ගමනකින් පස්සේ අපිට කඵගල පුණ්‍ය භූමියට ළඟා වෙන්න පුඵවන් වුණා. ආරණ්‍ය භූමිය තුළට යන්න කලින් කඵගල ගැන කෙටි හැඳින්වීමකුත් කරලා ඉන්නම්කෝ. කඵගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ විදියට සැළකෙන්නේ දොන් පිලිප් සමරදිවාකර විජේසුන්දර මැතිතුමා. වර්ෂ 1942දී විතර තමයි මේ ආරණ්‍යය නිර්මාණය කරලා තියෙන්නේ. මම දැනගත්ත කරුණු වලට අනුව සමරදිවාකර මැතිතුමා රත්නපුර ප්‍රදේශයේ වාසය කරපු වැදගත් පරම්පරාවකින් පැවතගෙන ආපු කෙනෙක්. එතුමා ආගම දහමට මහත් ඇල්මක් දක්වා තිබෙනවා. පසුකාලීනව භාවනා කටයුතු වල යෙදීමේ බලාපොරොත්තුවෙන් එතුමා මේ පළාතට ඇවිත් තියෙනවා. ඒ කාලෙදි තමයි මේ ආරණ්‍යය ගොඩනගලා තියෙන්නේ. මේ වෙනකොට ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගී භික්ෂූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ වාසය කරනවා. ඒ අතරට නිවනට යන මාර්ගය සොයමින් මෙහි පැමිණි විදේශීය ස්වාමීන් වහන්සේලාද අයත් වෙනවා. මෑත කාලයේදී “විදුලමු ලංකා” ව්‍යාපෘතිය යටතේ ආරණ්‍ය සේනාසනයට විදුලි බලයද සපයාදී තිබෙනවා.

ආරණ්‍ය භූමියට ඇතුඵ වුණු අපිට මුලින්ම දැක ගන්න ලැබුණේ දානය පිළියෙල කරන ශාලාව. මේ ශාලාව තුළ දානය පිළියෙල කිරීමට අමතරින් දුර බැහැර සිට පැමිණෙන බැතිමතුන්ට නවාතැන් පහසුකමුත් සපයාදී තිබෙනවා.

දානය පිළියෙල කරන ශාලාව පසුකරගෙන ගියපු අපිට පාලමකින් එගොඩහ පිහිටලා තියෙන “ගල් විහාරය” දැක ගන්නට ලැබුණා. ස්වාභාවික කඵගලක් පාමුල නිර්මාණය කරපු ගල් විහාරය ඉදිරියේ බෝධිසත්වයන්ගේ දුෂ්කරක්‍රියා සමය විදහා දැක්වෙන ප්‍රතිමාවකුත් නිර්මාණය කර තිබෙනවා. ගල් විහාරය තුළට ඇතුඵ වුණු අපිට දැක ගන්න ලැබුණේ හිඳි පිළිමයක් හා සැතපෙන පිළිමයක් එතුළ තබා ඇති අයුරුයි.

දුෂ්කරක්‍රියා සමය විදහා දැක්වෙන ප්‍රතිමාව
හිඳි පිළිමය
සැතපෙන පිළිමය

ටික වේලාවක් ගල් විහාරය තුළ කාලය ගතකරපු අපි පිටතට එනවාත් සමඟම ඇසුණු ටොක්… ටොක්… සද්දෙටයි වටපිට බැලුවේ… දඬු ලේනෙක් ගහක ඉඳන් ගෙඩි වගයක් කනවා. එයාගෙන් අතහැරෙන ගෙඩි බිමට වැටෙන සද්දේ තමයි අපිට ඒ විදියට ඇහිලා තියෙන්නේ. අන්න ඒ විදියට ගහ උඩ ගෙඩි කාපු කෙනා මගේ කැමරා කාචයේ සටහන් වුණේ මෙන්න මේ විදියට…

ආරණ්‍ය භූමියේ දැකගන්න ලැබෙන තවත් සුවිශේෂී ස්ථානයක් තමයි මේ, “කඵගල කතිකාවත”. ස්වභාවික කඵගලක් මතුපිට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ.

කඵගල කතිකාවත

තවත් ඉදිරියට ගමන් කරපු අපිට බෝධිඝරයක් සහිත මධ්‍යම ප්‍රමාණයේ බෝ ගසක් දැක ගන්න ලැබුණා. බෝධිය දක්වා දිවෙන මාර්ගය දෙපස ඉද්ද ගසින් අලංකාර කර ඇති ආකාරයත් දැක ගත හැකිවුණා.

බෝධිය දක්වා දිවෙන මාර්ගය

කඵගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ වුණු සමරදිවාකර මැතිතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා නිර්මාණය කරපු ස්මාරකයකුත් ආරණ්‍ය භූමියේ දැක ගන්න ලැබෙනවා.

මේ තියෙන්නේ දාන ශාලාව…..

ආරණ්‍ය භූමියෙදී දැක ගන්න ලැබෙන තවත් විශේෂ දෙයක් තමයි “ඉද්ද වනය”. විශාල භූමි ප්‍රදේශයක ඉද්ද පැළ රෝපණය කරලා තමයි මේ ඉද්ද වනය නිර්මාණය කරලා තියෙන්නේ. මලින් වැසී ගිය ඉද්ද යාය ඉහළ සිට බලන්නෙකුට නම් සුදු පළසක් එලුවාක් මෙන් දිස්වනවාට කිසිම සැකයක් නැහැ.

ඉද්ද වනය

එළිමහන් භූමියෙන් කෙමින් කෙමින් ඉවතට ඇදුණු අපි ඊළඟට පිවිසුණේ වනගතව නිර්මාණය කරලා තිබෙන භාවනා කුටි සමීපයටයි. සමහර භාවනා කුටි මැටියෙනුත් අනෙක් භාවනා කුටි සිමෙන්තියෙනුත් තනා තිබෙන අයුරු දැක ගන්න ලැබුණා.

මැටියෙන් තනා ඇති භාවනා කුටියක්

සිමෙන්තියෙන් තනා ඇති භාවනා කුටියක්

මේ තියෙන්නේ වැලි අතුරලා නිර්මාණය කරපු සක්මන් මඵවක්. භාවනායෝගී භික්ෂූන් වහන්සේලාට සක්මන් භාවනාවේ යෙදීමට තමයි මේ විදියට සක්මන් මඵ නිර්මාණය කර තිබෙන්නේ. වැලි අතුරපු සක්මන් මඵ වලට අමතරව කොන්ක්‍රීට් යොදා සකස් කරපු සක්මන් මඵත් විශාල සංඛ්‍යාවක් දැක ගන්න පුඵවන්.

සක්මන් මඵව

අපේ ගමන පුරාවටම අපිට නිවැරදි මාර්ගය කියා දෙමින් අපිත් එක්කම ඉඳපු යාඵවෙකුත් හිටියා. එයා ගැනත් සඳහනක් නොකළොත් ඒක ලොකු අඩු පාඩුවක්. සංසාරගත බැඳීමකින් වගේ අපිව හොයාගෙන ආපු මේ බලු යාඵවා මුඵ ගමන පුරාවටම අපේ ඉදිරියෙන් ගමන් කරමින් අපිට මාර්ගය කියා දුන්නා.

ඊළඟට අපි සේන්දු වුණේ කඳු ගැටයක් මත නිර්මාණය කරපු “කඵගල් චෛත්‍යය” ට. මධ්‍යම ප්‍රමාණයේ චෛත්‍යයක් වුණු මෙය වටා පොහොය දිනට පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවන් සඳහා ඉදි කෙරුනු කුටි විශාල සංඛ්‍යාවකුත් දැක ගන්න ලැබුණා.

කඵගල් චෛත්‍යය

කඵගල් චෛත්‍යය ළඟදී තමයි අපිට මෙයාවත් දැක ගන්න ලැබුණේ. මේ ඉන්නේ පොල් මල් කරවලා, එහෙමත් නැත්නම් මල්සරා විදියටත් හඳුන්වනවා. සුඵ විෂ සහිත සර්පයෙක්.

මේ තියෙන්නේ “ශ්‍රී ධර්මවීප ශිලා ලේඛනය”. ස්වාභාවික කඵගලක් ආධාරයෙන් නිර්මාණය කර තිබෙන මෙහි ත්‍රිපිටක ධර්මය සඳහන් කොට තිබෙනවා.

ආරණ්‍ය භූමියේදී දැක ගන්න ලැබුණු විශේෂ ආකාරයේ ඝාන්ඨාරයක් තමයි මේ…..

ඊළඟට අපි පිය මැන්නේ බුදු මැදුරට. අමුතු හැඩයකට තමයි බුදු මැදුර නිර්මාණය කරලා තියෙන්නේ. අපි යනකොට නම් බුදු මැදුරේ ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙමිනුයි පැවතුනේ…..

කලබලකාරී නාගරික ජීවිතයෙන් පැය ගණනකට හරි වෙන්වෙලා මේ වගේ සුපේශල වන පියසක පිහිටලා තිබෙන කඵගලට ආපු අපි හැමෝගෙම හිත් වලට දැනුණේ පුදුම සතුටක්, ඒ වගේම සහනයක්. නමුත් ඒ සතුට යම් තරමකින් තුනී කරවන දෙයකුත් මේ පුණ්‍ය භූමියේදී අපිට දැක ගන්න ලැබුණා. මේ දේටත් වග කියන්න ඕනෙ අපි වගේම නොයෙකුත් ප්‍රදේශ වල ඉඳන් කඵගලට පැමිණෙන උදවියම තමයි. ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට දානය පිරිනැමීමෙන් අනතුරුව ආහාර පාන බහාගෙන ආපු කාඩ්බෝඩ් පෙට්ටි, පොලිතීන් මලු සහ තවත් දිරාපත් නොවන ද්‍රව්‍ය ආරණ්‍ය භූමියේ බැහැර කර ඇති අයුරුයි මේ….. මේ මඟින් අවට පරිසරය විශාල වශයෙන් දූෂණය වී තිබෙනවා. කඵගල එන්න හිතාගෙන ඉන්න හැමදෙනෙක්ගෙන්ම ඉල්ලන්න තියෙන්නේ මේ වගේ අනුවණ ක්‍රියා නම් කරන්න එපා කියන එකයි.

පැය කිහිපයක අපූරු චාරිකාවකින් පස්සේ අපි මේ පුණ්‍ය භූමියට සමුදීලා එන්න පිටත් වුණා. ආපහු එන ගමනෙදී ජොබ්වාන දොළෙන් හොඳහැටි නාගන්නත් අපි අමතක කළේ නැහැ. නිල් කැටේට තිබුණු වතුර ටික ඇඟට වගේම හිතටත් ගෙනාවේ පුදුමාකාර සිසිලසක්. තවත් මේ වගේම සුන්දර ස්ථානයකට ඔබව රැගෙන යෑමේ බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නම්.

ජය වේවා!

(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)

ගොනු කර ඇත්තේ: පෞරාණික උරුමය

Tags:

RSSComments (20)

Leave a Reply | Trackback URL

  1. Anil vithanage says:

    නඩෙගුරා පරිසර සන්විඩානයෙ මෙවන් උතුම් ක්‍රියා අගයකලයුටු වෙනව එට්

  2. හසිත says:

    හරවත්,ලස්සන,අඩුවක් නැති පැහැදිලි ලිපියක්.යෙදූ නමටම හිත අැදිල යනව.ඡායාරූපත් ලස්සනයි.හැබැයි මෙතරම් අගනා තැනක් ගැන කියන්න ගිහින් අපෙ අය මෙතන විනාස කරයිද දන්ෙනත් නෑ,ඒත් මෙ ලිපි කියවන්නෙ පරිසරයට කැමති අය නිසා ඒහෙම වෙන්නෙ නැති වෙයි.මෙවැනි ලිපියක් ගෙනාවට ඔබට පින්.කවද හරි යන්න ඔන.මෙ වගෙ යන ඒන ගමන් ගැන ඉදිරියටත් ලියන්න,ඒක අදට විතරක් නෙවෙයි මතු පරපුරටත් වටිනව.නඩෙගුරා සංගමයටත් ස්තූතියි,මෙහෙම වෙදිකාවක් හැදුවට.ඔබටත් සදා ජය!

  3. Hasitha says:

    හරවත්,ලස්සන,අඩුවක් නැති පැහැදිලි ලිපියක්.යෙදූ නමටම හිත අැදිල යනව.ඡායාරූපත් ලස්සනයි.හැබැයි මෙතරම් අගනා තැනක් ගැන කියන්න ගිහින් අපෙ අය මෙතන විනාස කරයිද දන්ෙනත් නෑ,ඒත් මෙ ලිපි කියවන්නෙ පරිසරයට කැමති අය නිසා ඒහෙම වෙන්නෙ නැති වෙයි.මෙවැනි ලිපියක් ගෙනාවට ඔබට පින්.කවද හරි යන්න ඔන.මෙ වගෙ යන ඒන ගමන් ගැන ඉදිරියටත් ලියන්න,ඒක අදට විතරක් නෙවෙයි මතු පරපුරටත් වටිනව.මෙ වගෙ වෙදිකාවක් හැදුවට නඩෙගුරා සංවිධානෙටත් ස්තූතියි.ඔබට ජය!

    • SunethNW says:

      බොහෝම ස්තූතියි හසිත! ඉදිරියටත් ලිපි ලියන්න බලාපොරොත්තු වෙනවා…..

  4. Hasitha says:

    ““කඵගල කතිකාවත”. ස්වභාවික කඵගලක් මතුපිට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ”
    …
    …මොකක් වගේ දෙයක්ද මේකෙන් කියන්නේ ??

    • SunethNW says:

      බුද්ධ දර්ශනයේ දකින්න ලැබෙන ගුණාංග ගැන තමයි මෙතන සඳහන් වෙලා තියෙන්නේ……

  5. හොද වැඩක් සහෝදරයා. අප ඉපදුන පලාතට කිට්ටුව තියෙන මෙච්චර ලස්සන තැන් ගැන ගොඩක් අය දන්නෙ නෑ. මේක බලන්න අනිවාර්යයෙන්ම යන්න ඕනෙ

  6. jine says:

    ගොඩක් වටින ලිපියක්. යන්න උවමනව තිබුන එත් තවම යන්න බැරි උණ තැනක්.. නඩේගුරා ගෙ තොරතුරු ගොඩක් වටිනවා. අනිවාර්යෙන් බලන්න යන්න ඕනි. යන දවසට මේ ලිපිය ගොඩක් වටිනවා.

  7. Praසන්ன says:

    ලස්සන තැනක් වගෙයි. මේ වගේ තැනක් ගැන දැනුවත් කළාට ස්තුතියි.

    හැබැයි අර අන්තිම ෆොටෝ එකේ තියෙන වැඩේනං හරිම කැතයි.

  8. Asitha says:

    මේ වගේ ලස්සන තැන් ගැන අපට
    විස්තර ගෙන එනවාට බොහොම
    ස්තුතියි.කවදාහරි
    අනිවාර්යයෙන්ම
    යනවා.

  9. asanka says:

    අපි එහෙනම් බොවිටියම් කන්දෙත් යමු මචො

  10. Pradeep says:

    නියම්යි . . . . .

  11. KT says:

    අඩෙ එල බන් නියමෙට කරල. Sඋනෙත සුනෙත වඩකරුනෙ

Leave a Reply

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.