සැඟවුන මං පෙතක වංහුං ඔස්සේ – පනාවිටිය අම්බලම සොයා

කතෘ : විරාජ් රත්නප්‍රිය
කතෘ හා සම්බන්ද වන්න : viraj_rathnapriya@yahoo.com
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
2010 පෙබරවාරි එක්දින 2 අවුව ඇති නිසාන් වැනට්
මාර්ගය
ගම්පහ/කොළඹ-> දිවුලපිටිය -> ගිරිඋල්ල ->නාරම්මල පාරේ මැටියගනේ හංදිය ->පනාවිටිය
නවාතැන

විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • බිමට ජලය රැගෙන යාමත් කුඩයක් වැනි අව් වැසි ආවරණයක් රැගෙන යාමත් වැදගත් විය හැක.

  • මැටියගනේ හංදියේ සිට මැටියගනේ – කඩහපොල මාර්ගයේ කි.මී. 3 කට නොඅඩු දුරකදී ඔබට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පිහිටවන ලද “පනාවිටිය අම්බලම” නාමපුවරුව හමුවනු ඇත. එතැනින් ඇරඹෙන අතුරු මාර්ගයෙහි කි.මී. 2 කට නොඅඩු දුරකදී ඔබට පනාවිටිය ලංකාතිලකාරාමය විහාරය සහ අනතුරුව සුප්‍රසිද්ධ පනාවිටිය අම්බලම මුනගැසෙනු ඇත..

  • ඔබගේ පාසටහන් පමණක් ඉතිරි කරන්න. ඔබ සමග ගෙනයන අන් සියල්ල ආපසු රැගෙන එන්න

පිදුම, සංචාරයට රුචි ඔබ සැමට.

අම්බලමක්ය කියන්නේ පුරාණ ලංකාවේ බහුලවශයෙන් භාවිතයට ගැනුන වැදගත් පොදු ගොඩනැගිල්ලක්. බොහෝ විද්වතුන්ගේ මතය වෙලාතියෙන්නේ ගමේ වැඩිහිටියන් පොදුකාර්යන් සදහා එක්රැස්වුන රැස්වීම් ශාලාවක එහෙමත් නැතිනම් බුලත් විටක් හපමින් ඕපාදූප වල්පල් දොඩන්නට පහසුකම් සැපයූ ( මෑත කාලයේදී නම්කෝපි කඩයක ස්වරූපය ගත් ) සමාජ-ශාලාවක කාර්යය එමගින් ඉෂ්ඨ වන්නට ඇතිය කියන එකයි.

ඒ වගේම පාගමනින් හෝ කරත්තයෙන් ගමනේ යෙදුන අතීතයේ ඇත්තන්ට, නැවතී ගිමන් හැරීමටත් රාත්‍රිය ආරක්ෂා සහිතව ගතකිරීමටත් පහසුකම් සැපයීම අම්බලමක ප්‍රධාන කාර්යභාරයක් වුණා. සංචාරකයන්ගේ පැන් පහසුව සදහා ලිදක් හෝ නිරතුරු ගම්වැසියකු විසින් නඩත්තු කරනුලබන පින්තාලියක් පැවතීමත් අම්බලමක අනිවාර්ය අංගයක් වුණා. මෙසේ ආගන්තුකයන්ට නොමිලේ පහසුකම් සැපයීම බොහෝ බටහිර ජාතීන්ගේ විමතියට හේතුවුනත් ඔබ හැමෝම දන්නා විදිහට බුදුදහමින් හැඩගැසුන අපේ සංස්කෘතිය තුල ආගන්තුක සත්කාරයත්, පරාර්ථ සේවයේ යෙදීමත් අමුතු දේවල් නොවෙයි.

අම්බලමක රේඛාචිත්‍රයක් (උපුටා ගත්තේ http://www.mrt.ac.lk/archi/)

ඉංග්‍රිසින් විසින් නව මාර්ග පද්ධතියක් ස්ථාපනය කිරීමෙන් පස්සේ ක්‍රම-ක්‍රමයෙන් භාවිතයෙන් ඈත්වෙලා අභාවයට පත්වෙච්ච අපේ පැරණි මාර්ගයක් විදිහට සැලකෙන, දඹදෙනි – යාපහුව මාර්ගය ඔස්සේ පිහිටා තිබුණේ යයි විශ්වාසකරන අම්බලම් ශ්‍රේණියෙන් අදවනවිට ඉතිරිවෙලා තියෙන්නේ දෙකක් පමණයි. ඒ අතරින් කරගහගෙදර අම්බලම ගැන මෙයට කලින් සංචාරක සටහනක් තැබුවා සමහරවිට ඔබට මතකත් ඇති. (ඒක කියවන්න කැමති කෙනෙකුට ඔය සබඳතාවයෙන් එතැනට පිවිසෙන්නට පුළුවන්.) අද අපේ බලාපොරොත්තුව, මේ අම්බලම් දෙක අතරින් වඩා සුමට නිර්මාණය විදිහට සැලකෙන, පනාවිටිය අම්බලම වෙත ඔබසැම රැගෙන යන්නටයි.

බොහෝවිට මාර්ගය අද්දර ජලපහසුව සහිත, කෙත්වතු හෝ වන සතුන්ගෙන් ආරක්ෂාව සහිත වෙනත් එලිමහන් ස්ථානයක් අසබඩ, අම්බලමක් ඉදිකරන්නට යෙදුණා

දඹදෙනියේ ඉදන් කුරුණෑගල දෙසට ධාවනයවුන වෑන්රථය, නාරම්මල නගරයට කිලෝමීටර 3 කට පමණ කලින් හමුවුන මැටියගනේ හංදියෙන් වම්පසට දිවෙන අතුරු මාර්ගයට හරවනු ලැබුවා. එතැන්සිට තවත් කිලෝමීටර 3 කට නොඅඩු දුරකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් කලුපාට නාමපුවරුවක් පිහිටුවනු ලැබූ තවත් තුන්මං හන්දියක් අපට හමුවුනා. එයින් දක්වන ලද අතුරුමාර්ගය ඔස්සේ ගමන්කරමින් තවත් කිලොමීටර 1 ක දුරකදී අපට පනාවිටිය කියන සුන්දර ගම්පියසට ලඟාවන්නට හැකිවුණා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් කලුපාට නාමපුවරුව
පනාවිටිය ශ්‍රී ලංකාතිලකාරාමය
ශ්‍රී ලංකාතිලකාරාමය. පනාවිටිය, දීකිරිකෑව

පනාවිටිය පිහිටලා තියෙන මේ ප්‍රදේශයට කියන්නේ දීකිරිකෑව කියලයි. තරමක් අමුතු නමක් වුනත් ඒ නම හැදිලා තියෙන්නේ දඹදෙනි යුගයේදී එක ගොවියකුට ලැබුණ නම්බුනාමයක් සහ ගම්වරයක් හේතුවෙනුයි. ඒ ජනකථාවේ විදිහට තමන්ගේ නැතිවුන එලදෙන රජතුමාගේ පට්ටියට මැදිවීඇතිබව දැනගත් ගොවියෙක් ඒ ගැන රජතුමාට පැමිණිලි කලේලු. රාජකීය ගවපාලකයාගෙන් මේ ගැන රහසේ විමසාබලපු රජතුමා, කාරණය සත්‍ය බව දැනගෙන තමන්ගේ එලදෙන හදුනාගන්නේ කෙසේදැයි ගොවියාගෙන් විමසාසිටියේලු. තමාගේ එලදෙනගෙන් ලබාගත් දීකිරි (මුදවාපු එලකිරි) ඉතාමිහිරි රසක් ඇතිබැවින් ඒවා ආහාරයට ගෙන එලදෙන හදුනාගතහැකිබව ගොවියාගේ පිලිතුර වීලු. එවිට මේ යුගයේ හදුනාගැනීමේ පෙරට්ටුවක ආකාරයටම සාම්පල 6 ක් ඉදිරියේ පවත්වන ලද පරීක්ෂණයකදී ගොවියාට තම එලදෙනගේ දී කිරි හදුනාගතහැකි වීලු. ඒ අනුව සතුටටපත් රජතුමා ඔහුට මෙම ගම්වරයත්, දීකිරිකෑ මුදියන්සේ කියන නම්බුනාමයත් ප්‍රධානය කලේලු. කෙසේවෙතත් අදත් මෙම වාසගම ඇත්තන් බොහෝදෙනෙක් මෙම ගම්පියසේ වාසය කරනාබවයි දැනගන්නට ලැබුණේ.

අපට මුලින්ම හමුවුනේ පනාවිටිය ලංකාතිලකාරාමයයි. විහාරයට මදක් ඔබ්බෙන් වත්තක ඇතුලට වන්නට අපගේ ගමනාන්තය, සුප්‍රසිද්ධ පනාවිටිය අම්බලම පිහිටා තිබුණා. අම්බලම ඉදිරිපසින් පාරේ විරුද්ධ පැත්තේ පැරණි තාලේ කඩපොඩිත්තකුත් දැකගන්න ලැබුණා. ආකෘතියක් ලෙසින් නොව සැබෑවටම වරිච්චි බිත්ති බැඳ පොල්අතු සෙවිලිකර සකසාතිබූ එය දුටුමතින්ම දශක කිහිපයක පැරණිබවක් පලකලා.

අම්බලම ඉදිරිපසින් පාරේ විරුද්ධ පැත්තේ පැරණි තාලේ කඩපොඩිත්තකුත් දැකගන්න ලැබුණා

රථය නතරකල මොහොතේම වාගේ පොඩි වැස්සකුත් කඩා හැලුනා. කුඩයක පිහිටෙන් කඩපොඩිත්ත ඉදිරියෙන්ම වාගේ ගඩොලින් ඉදිකරතිබූ ගේට්ටු කනු දෙකක් අතරින් පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවට අයත්යැයි අනුමාන කල භූමියට පයගහපු අපට දැකගන්න හැකිවුනේ, යාර 75 ක පමණ දුරකින් පිහිටි කුඩා මඩුවක් වැනි ව්‍යුහයක් පමණයි. ඇත්තෙන්ම අප ඇවිත් ඇත්තේ නිවැරදි ස්ථානයටමද යන කුකුස හිතේ ඇතිවූබවනම් කියන්නම ඕන. ඒත් එම කුඩා පියස්සට ගොඩවූ මොහොතේම එතෙක් හිතෙහි අරක්ගත් දොම්නස් හැඟුම් නැතිකරමින්, ලොව නන්දෙසින් පැමිණි බොහෝ සංචාරකයන් මවිතයට පත්කරපු පනාවිටිය අම්බලමේ ලී කැටයම්පෙල අප ඉදිරියේ විරාජමාන වූවා. ඇම්බැක්ක දේවාලයත්, මහනුවර ශ්‍රී දලදාමාලිගාවත් හැරුණකොට ඉපැරණි සියුම් ලී කැටයම් සඳහා සුප්‍රසිද්ධම ස්ථානය පනාවිටිය අම්බලම බවයි පැවසෙන්නේ.

පුරාවිද්‍ය භූමියට පයගහපු අපට දැකගන්න හැකිවුනේ, කුඩා මඩුවක් වැනි ව්‍යුහයක් පමණයි

සංචාරකයන් මවිතයට පත්කරපු පනාවිටිය අම්බලමේ ලී කැටයම්පෙල අප ඉදිරියේ විරාජමාන වූවා

මේ අම්බලම දැවමය නිර්මාණයක් වූ නිසාම පොලව මත පිහිටුවනලද යෝධ වටකුරු කළුගල් හතරක් මත සමබර කරනලද සුවිසල් දැව තලාඳ හතරක් එහි පාදම ලෙස යොදාගෙන තිබුණා. ඒ මත සිටුවන ලද දැවමය කණුපෙලක් මගින් වහලය රදවා තිබුණා. කලින් කී දැවමුවා තලාඳ හතර විසින්ම මගීනට ආසන පහසුවද සලසනු ලැබූවා. මෙසේ තලාඳයන් පොලවෙන් ඉහල තලයක පැවතීම, අම්බලමෙහි දැවමය කොටස් වේයන්ගෙන් ආරක්ෂා කරන්නටත් මෙහි රාත්‍රි නවාතැන් ගත් සියළුදෙනා සර්පයන්ගෙන් ආරක්ෂා කරන්නටත් දායකවන්නට ඇතිබව තමයි අපට වැටහුනේ.

දැවමුවා තලාඳ හතර විසින්ම මගීනට ආසන පහසුවද සලසනු ලැබූවා

මෙසේ තලාඳයන් පොලවෙන් ඉහල මට්ටමක පැවතීම, අම්බලමෙහි දැවමය කොටස් වේයන්ගෙන් ආරක්ෂා කරන්නට හේතුවන්නට ඇති.

වහලයේ පරාල දක්වා අනෙකුත් සියළුම දැවමය ව්‍යුහයන් සියුම් කැටයමින් අලංකාරකර තිබුනා

බිම් තලාඳ හතර හැරෙන්නට වහලයේ පරාල දක්වා අනෙකුත් සියළුම දැවමය ව්‍යුහයන් සියුම් කැටයමින් අලංකාරකර තිබුනා. ඒත් ඒවා එකින්එක විස්තර කිරීම සහ ඡායාරූප පලකිරීම, යම් දවසක මෙම ස්ථානය සියැසින් නරඹා, නැවුම් අත්දැකීමක් ලබන්නට ඔබට ඇති අවස්ථාව අහිමිකිරීමක්ය කියලා හිතුන නිසා, මෙහිදී ඉදිරිපත් කෙරෙන්නේ කිහිපයක් පමණයි. මෙහි ඇති කැටයම් අතරින් අංගම් සටන් කරුවන්ගේ කැටයම විශේෂයි. ඒ මොකද වතාවක් මෙම අම්බලමෙහි ආරක්ෂාවටත් ඒ කැටයම දායකවීඇතැයි සැලකෙන නිසයි. ජනශ්‍රැතියට අනුව වරක් මෙම අම්බලම ගිණිතැබීමට පැමිණි යුරෝපීය භට පිරිසක් (ඔවුන් ලංදේසින්ද, ඉංග්‍රිසින්ද නැතහොත් ඔවුන් සමග පැමිණි වෙනත් ජාතියක සහයක භට කණ්ඩායමක්ද යන්න පැහැදිලි නැහැ) සරුවාලය ඇඳ සටන්කරන අංගම් සටන්කරුවන්ගේ කැටයම දැක, කලිසම් ඇද සටන් කරන්නන්ගේ (එම වකවානුව වන විට කලිසම් ඇද සටන්කලේ යුරෝපීයන් පමණක්ලු) කැටයමක් සහිත මෙම ස්ථානය තමන්ට සහය දක්වන්නන් සතු ස්ථානයක් බවට නිගමණය කොට අම්බලම ගිණිතැබීමෙන් වැලකී ඉවත්ව ගියේලු.

මේ කැටයම නාටිකාංගනාවකගේයි

කණුහිසක අරුමය බලන්න

මේ තවත් කණුහිසක්.

ඒ කථාවේ ඇත්ත නැත්ත කොහොම වුනත්, අද අපේ අය බටහිරින් ලැබුන නිසා උජාරුවෙන් අඳින කලිසම, යුරෝපයට ලැබුනේ ඉන්දියාවෙන් කියලා මතයකුත් තියෙනවා. එයට කලින් යුරෝපීයන් ඇන්දේ කෙටි-ගවුමකට සමාන ඇදුමක්ලු. ඔය ග්‍රීසිය, රෝමය වගේ රටවල සොල්දාදුවෝ ඇන්ද ඒ ජාතියේ ඇදුම් තාමත් යුරෝපීය කෞතුකාගාරවල තියෙනවා කියලා තමයි කියන්නේ.

අම්බලම ඉදිරියෙන් දිවෙන මේ මාර්ගය, දැනට සැඟවිලා තියෙන ඉපැරණි දඹදෙනි – යාපහුව මාර්ගයෙහි වර්ථමාන ස්වරූපය වෙන්නත් බැරිනැහැ

මේ වගේ අතීතයත් එක්ක බද්ධ වෙච්ච කරුණු කාරණා ගැන හිත හිතා ඉන්න අතරේ කාලයත් නොදැනීම ගෙවී ගිහිල්ලා තිබුණා. වැස්ස අවසන් කරපු අහසත්, තෙතබරිත පොලවත්, පනාවිටියෙන් සමුගන්න වෙලාව ඇවිත්ය කියලා අපට මතක් කරලා දුන්නා. හැමදාම කරන විදිහට, අපගේ පා සටහන් පමණක් ඉතිරිවන්නට හැරලා, ඡායාරූප විතරක් අරගෙන, අප පනාවිටියෙන් සමුගත්තා. නඩේගුරා කණ්ඩායම විදිහට අපගේ බලාපොරොත්තුව අපෙන් පාර අහගෙන මේ පුංචි දිවයිනේ සුන්දර ඉසව් හොයාගෙනයන ඔබ සියළුදෙනාම, ඒ විදිහේ වගකීම් සහිත සංචාරක සංස්කෘතියක් වෙනුවෙන් කැපවේවිය කියනඑකයි. ඔබසැමට,

ජය වේවා!

(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)

ගොනු කර ඇත්තේ: පෞරාණික උරුමයසංස්කෘතික සවාරි

Tags:

RSSComments (16)

Leave a Reply | Trackback URL

  1. Praසන්ன says:

    ලස්සන ඡායාරූප ටිකක්. වැදගත් විස්තරයක්.

    • viraj says:

      හිතවත් ප්‍රසන්න,

      දිරිමත් කිරීම ගැන බොහොම ස්තුතියි.

  2. SunethNW says:

    අගනා ලිපියක් විරාජ්. බොහෝම ස්තූතියි මේ ස්ථානය පිළිබඳව තොරතුරු ගෙනාවට……

    • viraj says:

      හිතවත් සුනෙත්,

      දිරිමත් කිරීම ගැන බොහොම ස්තුතියි. නමේ අගට තියෙන NW වලින් කියවෙන්නේ North western කියන එකද ?.

  3. Hasitha says:

    දැනට මේ විදිහට ඉතුරු වෙලා තියෙන අම්බලම් ටික නිසියාකාරව ආරක්ෂා කරන්න වගකිව යුත්තෝ කටයුතු කරලාද තියෙන්නේ ?

    • viraj says:

      හිතවත් හසිත,

      මම දන්නා තරමින් නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ වෙනුවෙන් බොහොම ලොකු පරිශ්‍රමයක් සහ වියදමක් දරනවා. හැබැයි සමහර පුරාවිද්‍යා ස්ථාන අළුත්වැඩියාව සදහා යොදාගන්න ලී වර්ග ගැන නම් ගැටළු පවතිනවාය කියලා (හපෝයි, ඒ කිව්වේ නා ලී යොදාගන්නවා කියලා හදපු ඇස්තමේන්තු වලට වැඩ සිද්ද වෙන්නේ ගොරකා ලී වලින් කියලා) ලඟදි දවසක නෙත් එෆ් එම් බැළුම්ගල වැඩසටහනේත් යනවා ඇහුණා.

  4. shadeesh says:

    නඩේ ගුරුතුමා පාසල් නිවාඩුවට වැඩ අරබලා වගේ….අගනා උත්සහයක් …වටිනා මහන්සියක්..සැමදා ජය!

  5. U says:

    කලින් පලවෙච්ච කරගහගෙදර අම්බලම ගෑන වගේම වෑදගත්, වටිනා විස්තරයක්.

    ජය!

    • viraj says:

      හිතවත් U,

      උනන්දු කිරීම ගැන බොහොමත් ස්තුතියි.
      ඉඩක් ලැබුන දවසක ගිහින් බලන්න…,

  6. ranwala says:

    මේ වගේ අම්බලමක් ඇතුල් කෝට්ටේ හන්දියේ තියෙනවා නේද ?

    • viraj says:

      හිතවත් රන්වල,

      කොමෙන්ටුවට ස්තුතියි.
      ඇතුල්කෝට්ටේ හංදිය ගැන මගේ දැනීම නම් එච්චරම නැහැ. ඒ නිසා මේ වගේ පැරණි අම්බලමක් එතන තියේද කියලා මම හරියටම කියන්න දන්නේ නැහැ. විස්තර හොයලා බලන්නම්.
      කොහොම වුනත් මේවගේ සියුම් කැටයම් තියෙන පැරණි අම්බලමකටනම් දැනට ඉතිරිවෙලා තියෙන්නේ පනාවිටියේ විතරයි.

  7. i like u actiivities. proud of u….

Leave a Reply

Singlish Box

Singlish වලින් මෙතන ලියලා Space bar එක ඔබන්න. සිංහල Unicode වලින් comment box එකට වචනය add වේවි. වැඩි විස්තර ඕනද? මේක click කරන්න.