වියළි සුළං රැළි දියබිඳු වළින් තෙත් කළ ගිමිහාන කඳවුර

කතෘ : කේ.මුණගම
කතෘ හා සම්බන්ද වන්න : mihithalamithuro@gmail.com
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
2012 අගෝස්තු 31 සැප්තැම්බර් 1 සහ 2 3 45 තද වියලි සමයකි.‘ එහෙත් 31 රාති‍්‍රයේ සහ 1 දා දහවල් සුළු වැස්සක් ඇති විය. ලේලන්ඞ් බස් රථය
මාර්ගය
ඔලබොඩුව කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානය හෝමාගම , හංවැල්ල , කිරිදිවැල , පේරාදෙනිය කටුගස්තොට. මාතලේ,රත්තොට රිවස්ටන් හරහා මහලකොටුව ආපසු ලග්ගල පල්ලේගම ඇලහැර දඹුල්ල හරහා ඔලබොඩුව කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානය
නවාතැන
මහලකොටුව ගම්මානයේ සුනිල් ආරච්චි මහතාගේ නිවස
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • සොබාදහම විඳින්න එයට ආදරය කරන්න. මිහිතලයේ සැබෑම මිතුරකු වන්න

  • රිවස්ටන් හරහා දුම්බර නැරඹීමට පැමිණෙන්නේ නම් ඊට සුදුසු වාහනයක පැමිනෙන්න.කණ්ඩායමකට පැමිනිමට සුදුසුම වාහනය වැන් රථයකි.

පරිසර හිතකාමී අපේ උරුමය රුකගන්න වෙහෙසෙන සියලු දෙනා හට හෘදයාංගමව පිදෙන වගයි

මේ මුළු සිරිලකටම ගිම්හාන සමයයි. මිහිතල මිතුරෝ 2012 වාර්ෂික වැඩසටහනේ ගිම්හාන කඳවුර යෙදී තිබුනෙ අගෝස්තු 31,සැප්තැම්බර් 1 හා 2 යන තෙදිනට. මේ කඳවුර සංවිධානය වුනේ මිහිතල මිතුරෝ ‘‘ සොබාසවිය’’ළමා සමාජයේ සාමාජිකයින්ට වුනත් මෙවරත් වෙනද වගේම ‘‘සොබාසවිය ’’තරුණ සංවිධානයේ සහ ‘‘සජන මිතුරෝ ’’ සාමාජිකයිනුත් එයට සහභාගි වුනා. මෙවර කඳවුරට 45 ක පමණ සහභාගිත්වයක් තිබුන. සුපුරුදු පරිදිම කඳවුර සඳහා මුල ඉඳලම ආවේ බාධක. කඳවුර පවත්වන්න තිරණය කළේ ඉළුක්කුඹුර වන නිවහන කේන්ද්‍ර කරගෙන. වේලාසනින්ම එය වෙන්කරගන්න යන කොටත් අමාත්‍යංශයෙන්ම ඒක වෙන්කර ගෙන. ඉතිං හොයාපල්ලකො 50 කට විතර ඉන්න තැනක්.

ඒ අභියෝගය ජයගන්න අපි තිරණය කළා. මෙය ලියන මම අපේ භාණ්ඩාගාරික ප්‍රදීප් එක්ක රිවස්ටන් මාර්ගයේ දුෂ්කරතා විඳගෙන අපේ ඔළබොඩුව කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ ඉඳල මහළකොටුව ගම්මානයට ගියේ නැතෑ යතුරු පැදියෙන්ම. ඒ ගමනේදි අපේ කණ්ඩායමට නවාතැන් ගන්න තැනක් හොයා ගත්ත. ඒ වගේම ගමේ ආරච්චි(ග්‍රාම නිලධාරී) ගමේ පංසලේ හාමුදුරුවො සහ මහළකොටුව මහ විදුහලේ නියෝජ්‍ය විදුහල්පති තුමා හමු උනා. ඒ පිරිස සමග, සැප්තැම්බර් 1 දා පවත්වන්න බලාපොරොත්තු වන ‘‘ සඳ පහන් රැය’’ පාරිසරික වින්දනීය රාත්‍රීය පිළිබඳව සාකච්ඡා කර ගත්ත.

කඳවුරට සතියකට ඉස්සෙල්ලා මෙන්න අපේ ‘‘සජන මිතුරෝ’’ ක්‍රියාකාරිකයෙක් වෙච්ච රංගව රිය අනතුරකට මුහුණ දිලා රෝහල් ගත කළා. ඔහුත් ඔහුගේ දයාබර බිරිඳ වුන අපේ සජන මිතුරෝ ක්‍රියාකාරිණියක් වුන පිළියන්දල මැදි විදුහලේ ආචාර්යවරියක් වූ ගීතාත් ඇගේ දරුවන් දෙදෙනාත් කඳවුරට සහභාගිවීම අවිනිශ්චිත වුනා. මොරගහහේන ක්වන්ටම් ආයතනයෙන් 6 දෙනෙක් එනව කිව්ව්ත් ඒ ගොල්ලන්ලෙ වාර්ෂික චාරිකාව සැප්තැම්බර් 1 දාට යෙදිල. ඒ හින්ද ඒ අයට එන්න වෙන්නෙ නැතිබව දැණුම් දුන්න . ඔළබොඩුවෙ ස්වර්ණා වෛද්‍ය උපදෙස් මත කඳවුරට සහභාගි නොවන බව දැනුම් දුන් අතර ඇගේ පුත් මතීෂත් කකුළ තුවාල කරගෙන. හරියටම කඳවුරට පිටත්වන දිනයට පෙරදා ඒ කියන්නෙ අගෝස් 30 වන දා සන්ධ්‍යාවෙ නයන යතුරු පැදියෙන් වැටිල දරුණු ලෙස තුවාල උනා. ඒ නිසා ඔහුත් ඔහුගේ මිතුරු හසන්තත් කදඳවුරට සහභාගි උනේ නැහැ. මෙන්න යටියන්තොට තුසිතත් යන්න වෙන්නෙ නැහැ කියල දැනුම් දුන්න. මේ වෙන්නෙ මොකක්ද කියල හිතා ගන්නත් බැහැ. අපි ලොකු මූළ්‍ය අර්බූදයකට මුහුණ දෙන බව පැහැදිළියි. කොහොම උනත් කඳවුර පැවැත්විය යුතුමයි.

අගෝස්තු 31 වන දා පාන්දර 05.00 ට විතර අපි අපේ චාරිකාව පිටත් උනා. මෙවරත් අළුත් මුහුණු කිහිපයක්ම එකතු වෙළා. මධ්‍යම පරිසර අධිකාරියේ කොළඹ දිස්ත්‍රීක් පාසල් සම්බන්ධිකරණය කරන ශාලිකා සේනානි මහත්මිය ඇගේ දුවනියන් දෙදෙනාත් සමග කඳවුරු චාරිකාවට එකතු උනා. මධ්‍යම පරිසර අධිකාරියේ අත්තිඩිය ‘‘සොබාකෙත’’ මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරි නන්දන ගමගේ මහතාත්. පන්නිපිටියේ ලංකා මහත්මිය සහ ඇගේ පුතනුවන් දෙදෙනාත් අපේ සංවිධානයේ ආරම්භයේ ඉඳළම කි‍්‍රයාකාරිණියක් වුන චන්ද්‍රපත්මා මිස්ගෙ වැඩිමහල් දියණිය අමන්දාත් සහභාගි උනා.

අපි හෝමාගම, හංවැල්ල, කිරිඳිවැල,පස්යාල හරහා මහනුවරට ලඟා උනේ මාර්ගයේ පැවති විශාල වාහන තදබදය නිසා තරමක් ප්‍රමාද වෙළා. දළදා හිමි සිතින් වැඳගෙන ඓතිහාසික මාතලේ නගරයට පිවිසි අපි රත්තොට හරහා පිවිසියේ දුම්බර කරා ලඟාවිය හැකි අති දුෂ්කරතම මාර්ගයට අවතිර්ණ වෙමින්. අපි ගමන් කළේ 54 දෙනෙකුට ගමන් කළ හැකි ලේලන්ඞ් වර්ගයේ දිග බස් රථයකින්. හැමෝම කිව්වෙ යන්න බැහැ. යන්න එපා කියල. අපේ තියෙන හිතුවක්කාර කමයි අභියෝග වලට බිය නැතිකමයි එක්ක අපේ රථයේ රියැදුරු (මෙම බස් රථයේ හිමිකරු) ප‍්‍රියන්ත මහතාගේ ධෛර්යත් එකතු උනා. වැඬේ ලේසි නැහැ. ඔන්න පළමුවන වැළමිටි වංගුව හමු උනා. මෙන්න වංගුව ගන්න විදිහක් නැහැ. බස් එකේ පුට්බෝඞ් එක වදිනව. ප්‍රසන්න, කපිල ඇතුළු අපේ පිරිස ගල් ගෙඩි හොයා ගෙන ඇවිත් ටයර් වලට තියල යංතම් වංගුව ජය ගත්ත.

ගල් තියල බොහොම අමාරුවෙන් වංගුවක් ගන්නා බස් රථය

පේනව නේද බස් රථය යන්නෙ කොහෙද කියල

පේනව නේද බස් එකට වෙලා තියෙන දේ මේ පාරෙ එන්නෙ පරෙස්සමෙන්

හැබැයි ඉස්සරහට මීට වඩා බෙහෙවින් අපහසු වංගු තියෙන බව අපි දන්නව. හිත අවිනිශ්චිත බවින් පිරිල. ඒ මදිවට දිගු නිවාඩුවක් සහිත සති අන්තයක් බැවින් පාරේ දිගටම වාහන. අපේ පිටිපස්සෙන්ම තවත් ලේලන්ඞ් වර්ගයේම බස් රථයක්. හැබැයි අපේ බස් එකට වඩා ඒක කොටයි. ඒකෙ කට්ටියත් අපේ සපෝර්ට් එකට හිටිය.

හරිම අමාරු උනේ ඉහළ ඉඳල පහළ බහින වාහන හින්ද? මෙන්න වංගුවකදිම ඉහළින් පහළට බස් රථයක්. ඒ බස් රථයේ හිටිය රියැදුරු මහත්තය වෙව්ලනව. මොකුත් කර ගන්න විදිහක් නැහැ. දෙපැත්තටම වාහන පෝලිමයි. දැන්නම් ගිහිල්ල හමාරයි. මාර මහන්සියක් අරගෙන අපේ වගේම අනෙක් වාහන වල

අයගෙත් සහයෝගය හින්ද යංතම් ඒ අභියෝගයත් ජයගෙන ඉදිරියට යන කොට මෙන්න රිවස්ටන් කඳු මුදුන පෙනි පෙනී හමුදාවෙ කාර් එකක් පාර මැද හිටල. ස්ටාර්ට් වෙන්නෙ නැහැ. ආයෙමත් දෙපැත්තටම වාහන හිරවෙලා. අපේ ප්‍රසන්න වැඩ කාරයනෙ බොනට්ටුව ඇරල හොයාගත්තෙ නැතෑ ලෙඬේ. ඒකට ප්‍රතිකර්ම කරළ ඒ අභියෝගයත් ජය ගත්ත කියමුකො. පහළට බහින කොටත් ඒ වගේම කන්න තියෙන ඔක්කොම කටු කාලා රත්තොට සිට පිටවල පතනට එන්න හෝරා 4 ක් 5 ක් ගත කරල තිබ්බ. හැබැයි මේ සියළු බාධාවන් මැද්දෙ උනත් මේ අසිරිමත් කඳුවැටිවල අයස්කාන්ත දර්ශනයන් විඳ ගන්නත් මේ අපූරු භූ දර්ශනයන් ගැන ඉගෙන ගන්නත් අපේ කට්ටිය අමතක කළේ නැහැ. ශ්‍රීලංකාවේ භූ නිර්මාණයේදි වාඩියාගෙ මතය උනේ ‘‘කුට්ටි උතික්ෂිප්ත’’ න්‍යායයි. බටහිර දෙසින් නැගෙනහිර දෙසට ඇති වූ මහා පීඩනයකින් ඉහළට එසවුනු මධ්‍යම කඳුකරයේ භූ දර්ශන ඒ මතය සනාථ කරනව. දුම්බර කඳු ශිඛර ඒ බැව් මනාව පසක් කරනව. තුන්හිස්ගල, සුදුකන්ද, ලකේගල, වගේ කඳු ශිඛර මීදුම මැදින් උනත් හොදීන් දර්ශනය උනා.


බටහිර දෙසින් නැගෙනහිර දෙසට භූමිය තල්ලූවී ගොස් ඇති ආකාරය

මාස අටකින් හරි හමන් වැස්සක් නුදුටු පිටවල පතන් බිම දුඹුරු පැහැයෙන් සිය සෝකය අපට කියා පෑව.

අපි දිවා ආහාරය අරගෙන පතන් බිමේ පිහිටි පුංචි ලෝකාන්තය නරඹන්න යන්නයි සුදානම.

මෙතෙක් වේලා බොහොම නිශ්චලත්වයෙන් හිටි නල කුමරුන් හෙමින් හෙමින් සිය රංගනයන් දක්වන්නට පටන් ගත්ත. මඳ වේලාවකින් සිය වේගය වැඩිකර ගත් ඔහු අපවත් ඉහළට ඔසවා ගෙන යාහැකි තරමේ රංගනයක් අපි ඉදිරියේ රඟන්නට උනේ අපේ පුංචි එවුන්ට සතුට සදා දෙමින්. හිටපු ගමන් වියරු වෙස් අරගන ඔහු රැගුවෙ ඔහුගේ නල කුමරිය ඔහු අතහැර ගිය සෝකය හා කෝපය නිසා දෝ කියලත් හිතුන.

හිටපු ගමන් වියරු වෙස් ගත් නළ කුමරුන්…

පිටවල පතනේ පුංචි ලෝකාන්තයත් හරිම අපූරු භූ නිර්මානයක්. ඉහළ සිට පහළට එක දිගට විහිදෙන කළු ගල් ශිඛරය හරිම සුන්දරයි.

මේ පතන් බිමේ කඳුලැස්ස, වටැස්ස වගේ මාංශභක්ෂක ශාක වගේම මෙම පතනටම පමණක් ආවේණික පතන් අල විශේෂයක් ද තිබෙන බව අපි දැන ගත්ත. මහළකොටුව ගම්මානයේ සුනිල් ආරචිචි මහත්තයගෙ නිවසට අපි එකකොට සවස 6.00 ට විතර වෙලා. කණ්ඩායමට වෙහෙසයි. ඇඟපත හෝද ගන්න රාත්‍රී අඳුරේම කිලෝමීටර් 2 ක් විතර පයින්ම දුෂ්කර මාර්ගයක මැද ඇලට ආව. දරුණු ඉඩෝරය විසින් බොහෝ දිය දහරාවන් සිඳි ගිහින්. මැද ඇලේ ගලා එන කුඩා දිය දහරෙන් සිය විඩාබර ගත දොවා ගත් අපි රාත්‍රී කෙටි සාකච්ඡා වාරයකින් හෙට දිනයේ සැළසුම් ගැන පිරිස දැනුවත් කළා. අපි සැළසුම් කරළ තිබ්බෙ ළමා සමාජයේ සාමාජිකයින් හා විශේෂයෙන් පිරිමි පාර්ශ්වය කඳවුරු බිමක කූඩාරම් ඇතුළෙ රාත්‍රීය ගත කරන්නයි. ඊට අවැසි කළමනා ආදියක් අරගෙනයි අපි ගියෙ. ඒත් නොසිතූ ලෙස ප්‍රමාද උන නිසා ඒක සාර්ථක කර ගන්න බැරි උනා. ඒහෙම උනත් ප්‍රසන්නල කපිලල කිව්ව අපි කූඩාරම් ඇතුලෙ ඉන්නම් කියල. මිදුලෙ කූඩාරම් දෙකක් සවි කළා. වැස්සොත් එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒත් වියළි බවින් පිරිගිය දුම්බරට මොන වැස්සක්ද ? ප්‍රසන්නයි එයාගෙ පුංචි පුතයි, කපිලයි, එක කූඩාරමක. අනෙක් එකේ මොරටුව ලංකා බැංකුවෙ කළමණාකරු වෙච්ච රොසයිරු මහත්තයයි ඔහුගෙ පුත් කොළඹ ආනන්ද විදුහලේ ශිෂ්‍ය දුලිතයි, සජන මිතුරෝ සභාපති කුමාරණායක මහත්තයගෙ පුත් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක් වෙච්ච නුවන් කුමාරණායකයි තවත් කූඩාරමක. ඇඟේ පතේ වෙහෙසටත් එක්ක කට්ටියට හොඳට නින්ද ගියා. වෙලාව රාත්‍රී 01.00 ට ඇති. කසු කුසුවක් ඇහෙනව. මෙන්න බොලේ එලියෙ කූඩාරම් වල හිටපු කට්ටිය ඇතුළට එනව. ‘‘ඒ ආතල් එකත් හරි’’ නුවන් කිව්ව. බැලින්නම් තරමක වැස්සක් වැටිල. කට්ටිය තෙමිල. ඇඳුනුත් තෙත් වෙලා. ඒ කට්ටිය නම් කඳවුරු අත්දැකීමත් නියමෙටම ලබා ගත්ත. ශාලිකා මිස්ලට චන්ද්‍රපත්ම මිස්ලට නම් හරිම හිනා. ඇයි දන්නවද අපිට නින්ද ගිහින් තිබුනට ඒ ගොල්ලන්ට නින්ද ගිහින් නැහැ. මොකද ශාලිකා මිස්ගේ ලොකු දුවට රාත්‍රී හීතල හින්ද හතිය ඇවිත්. වැස්සට තෙමෙන කොට මේ ගොල්ලන්ගෙ කථා ඇහිල. වරින් වර ඒව මතක් කර කර හිනා උනා. දුම්බරට වැස්ස ඕනිනම් වැහිපිරිත් කියන්න ඕනි නැහැ. මිහිතල මිතුරෝ මේ ගමට ආවනම් හරි. බොහෝ අය විහිළුවට වගේ කිව්ව. උදේ පාන්දර 04.00 ට කට්ටිය අවදි වෙලා සූදානම් උනා. අපි උදේ 07.00 වෙද්දි පිටත් උනා. සවස මහළකොටුව පාසලේ පැවැත්වෙන ‘‘ සඳපහන් රැය’’ වින්දනීය හෝරාවන් ගැන දැනුවත් කරන්න අපි පත්‍රිකා සූදානම් කරගෙන ගිහින් තිබුනෙ. කණ්ඩායම් හැටියට වෙන් වෙලා ළමා සමාජයෙ කට්ටියයි, තරුණ සමාජයෙ කට්ටයයි ගම දැනුවත් කරමින් මානිගල චාරිකාව ඇරඹුව.

ගෙන් ගෙට පත්‍රිකා බෙදමින්

මානිගල කන්දට ඒ නම ලැබිල තියෙන්නෙ කොහොමද කියන එකත් අපේ කට්ටිය දැන ගත්ත. ඉංග්‍රීසි පාලන සමයේ රිවස්ටන් කඳු ආශ්‍රිතව තේ වගාව පැවතී ඇත. තේ වත්තේ වැඩ කළ දෙමළ කම්කරුවන්ට වේලාව බලා ගැනීමට ඔරලෝසු නොතිබුන බැවින් මානිගල කඳුශිඛරයේ ගලෙහි දැනටත් දැකිය හැකි විශාල හතරැස් කොටුවකට හිරු රැස් පතිත වන ආකාරය අනුව ඔවුන් වේලාව දැන ගෙන ඇත. වේලාවට දෙමළ බසින් ‘මනි’ යනුවෙන් ව්‍යවහාරවේ. වේලාව බලා ගන්නා කන්ද මානිගල කන්ද වි ඇත. දුම්බර කඳු පන්තිය ආශ්‍රිතව පාරම්පරික කුඩා ගම්මාන ගණනාවක් පවති. දුෂ්කරතා විඳ ගනිමින් (අපට සාපේක්ෂව) නමුදු නිරෝගිමත් දිවි පෙවෙතක් ගත කරන ඔවුන් සැබෑම වාසනා වන්තයින් යැයි අපට හැඟේ. මෙම ප්‍රදේශයේ පවතින ගම් අතර පිටවල, රත්නින්ද, ඇටැන්වල, මහළකොටුව, වල්පොලමුල්ල හඳුන්වා දිය හැකිය. වල්පොලමුල්ල ගම කළක් ලංකාවේ කුඩාම ගම්මානය විය. අද එහි කිසිවකු පදංචි නැත. දරුණු ලෙස වල් අලි ප්‍රහාරයන්ට ගොදුරු වුන මෙම ගම්මානය අද වනාන්තරය තුළ හුදෙකලාව මිනිස් වාසයෙන් තොරවී ඇත. ඉඳහිට කළුපහන කඳුවැටියේ පිහිටි දූවිලි ඇල්ල කරා යන සංචාරකයින්ගේ නවාතැන් පොළක් ලෙස පමණක් අද එය භාවිතා වේ. මෙවන් හුදෙකලා තවත් ගම්මානයකි සුප්‍රසිද්ධ ‘‘මීමුරේ’’. රණමුරේ සහ නාරංගමුව තවත් එවැනි ගම්මාන කිහිපයකි. අපි වැද්දා පැනි ඇල්ල අසලට පැමිනියෙමු. පෙර දිනයක (2008දෙසැම්බර්) ළමා සමාජ සමාජිකයින්ගේ වැඩසටහනකට අප පැමිණියේ වැසිබර කාළගුනයක් සහිත වකවානුවකය. එදත් අදත් අතර ලොකු වෙනසකි. එදා තේජාන්විතව ගලා හැලූන වැද්දා පැනි ඇල්ල අද දුර්වල වි ඇත.

දැඩි නියගයෙන් දූර්වල වූ වැද්දා පැනි ඇල්ල

2008 දෙසැම්බර් ඇය තේජාන්විතව ගලා හැළුන අන්දම

වැසි නැති නිසාවෙන් කුඹුරු වගා කිරිමට නොහැකිය. එහෙත් ඇටන්වල ගමිමානය ආසන්නයේ කුඹුරු වල තක්කාලි දුන්කොළ වැනි වගාවන් කර ඇති අතර ඒවා අධික ලෙස රසායනික භාවිතයෙන් සිදුකරනු ලබයි.


ඇටන්වල ගම්මනයේ නිවසක් මෙම හැම නිවසක් හා ගෙවත්තක්ම කළු ගල් යොදා වැටක් සාදා ඇත

මානිගල කන්ද තරණය සඳහා කණ්ඩායම සීරුවෙන්…

ඇටන්වල ගම්මානය පසුකර මානිගල කන්ද තරණය අරඹමින් මද දුරක් ඉහළට ඇදුනෙමු. බැළු හැම තැනම පේර ගස් පිරී ඇත. සිත්සේ ඇඹුල් පේර කඩා කුස පුරවා ගතිමු. කළු පැහැයෙන් දිළිසෙන කරඹ තවත් රසවත් පළතුරකි. ඇතිතරම් කරඹ කඩා කුස පුරවා ගන්නට කිසිවකුත් මැලි නොවීය. සමහරුන්ට මෙය අළුත්ම අත්දැකිමකි. නගරයට වී වාහන වලින්ම ගමන් බිමන් යන ඔවුනට මෙසේ දුෂ්කර මං පෙත්වල පාගමනින් යනෙන මෙවන් ගමන් නුහැරුය. එසේ හෙයින් ගමන හෙමින් සිදුවෙයි.

මිහිතල මිතුරෝ අනු සංවිධානයක් වූ සජන මිතුරෝ ලේකම් චන්ද්‍රිකා මහත්මියට ගමන වෙහෙසකර වුනත් මුවෙහි සිනහව එලෙසම පවතී…..

අපේ ළමා සමාජයේ දරුවන්ට නම් මෙවන් ගමන් හොඳට හුරුය. ඔවුන්ට අමාරු හෙමින් ගමන්ය. එබැවින් ඔවුන් වේගයෙන් මානිගල කන්ද කරා ලඟාවිය. කෙසේ හෝ ශාලිකා මිස්ල ලංකා මිස්ල වගේම අපේ සජන මිතුරෝ ලේකම් චන්ද්‍රිකාත් බැරි බැරි මරගාතේ කඳු මුදුනට ලඟාවිය. දැඩිසේ සුළං හමයි. එය වියළි සුළඟකි. හාත්පසින් පෙනෙන්නේ කොපමණ බැලූවත් එපා නොවන අපුර්ව සුන්දරත්වයකින් පිරි දසුන්ය.


මානිගල කඳූ මුදූනට දිස්වන ඇටන්වල ගම්මනය සහ හෙල්මළු ක්‍රමයට අස්වද්දන කුඹුරු

හරිත වර්ණයෙන් බැබැළෙන තුරු වියන්

අප ආ ප්‍රීතිය නිසා අහස ද පෙළහර පාන්නට විය


ආපසු කඳුමුදුන බැස වැද්දා පැනි ඇල්ලෙන් සිත්සේ පිහිනා නා ගෙන අවසන් වූවා පමණි. මෙන්න නැවත වැස්සක් ඇද වැටි අපි දියබත් විමු. අපේ පැමිණිම ප්‍රදේශයට ආශිර්වාදයක් වි ඇත.

අද සවස මහළකොටුව මහ විදුහලේ දී අප සංවිධානය කළ ‘‘සඳපහන් රැය’’ වින්දනිය රාත්‍රීය වෙනසකට භාජනය කරන්නට සිදුවිය. ගමේ එක් නිවෙසක අද රාත්‍රී ධර්මදේශනා පිංකමක් පැවැත්වෙයි. එබැවින් අපේ ප්‍රසංගය සවස 05.30 ට පමණ අරඹන්නට සිදුවිය. ඇත්තෙන්ම එය අති සාර්ථක ප්‍රසංගයකි. වෙන කවරදාකවත් අප නුදුටු දක්ෂතාවයන් කුසලතාවයන් එදා අපි අපේ දරුවන් තුළින්දැක ගතිමු.

ලොව සරසන දළු කොළ මල් අපට අයිති නෑ …. ඒ නිසාම ඒවා වනසන්නට බෑ….

හතරබීරි කථාව සොබාසවිය ළමා සමාජයේ දරුවන් කරලියට ගෙන ආ මොහොතක්

අපගේ කෙටි දැණුම් දිමකින් සඳපහන්රැය හා එක්වන්නට පැමිණි මහළකොටුව ගම්වාසීන්

කාලගෝල සහ දික්තල කථා වස්තුව මිහිතල මිතුරෝ ළමා සමාජ නිෂ්පාදනයක් ලෙස

ගම අවුලඤඤං ….. ගිනි ගෙඩි දෙඤඤං…..

මෙම කඳවුරේ ප්‍රධාන සංවිධායක වරයා සහ අපේ සංවිධානයේ උප ලේකම් වරයා වන සඳරුවන් හැම වැඩක්ම හරියටම සංවිධානය කරල තිබුන. ඒ විතරක් නෙමෙයි සඳරුවන් ඇතුලූ සියලූ ශිල්පීන්ගේ දක්ෂතා එදා අපිට දැක ගන්නට ලැබුන. මෙම ගම්මානයේ ජනයාට සිය උපරිම හැකියාවන් පෙන්වූ අපේම දරුවන්ට අපේ ප්‍රණාමය !

පසුදා හරියටම උදෑසන 06.30 ට “ කඳූශිඛර සිසාරා” විඩියෝ වැඩසටහන තුළින් සියළු දෙනා දැනුවත් කළ අප මේ සූදානම් වන්නේ මහලකොටුව මහ විදූහලේ දී පැවැත්වීමට නියමිත කණ්ඩායම් ක්‍රියාකාරකම් සඳහාය. කඳවුරේ සියළු සහභාගිකයින් මේ සඳහා සහභාගිවිය. ශාලිකා , චන්ද්‍රපත්මා යන මහත්මීන් සහ නන්දන මහත්මා ප්‍රධාන අධික්ෂණ නිලධාරීන් විය. සංවිධායක මණ්ඩලය ලෙස ප්‍රදීප්, සඳරුවන්, රංජන්, නුවන්, දූලිත, සංජීවනී යන මහත්ම මහත්මීන් සහභාගි විය. බල්ලා, ගෙම්බා, කුකුළා යන සතුන්ගේ නාද ඔස්සේ කන්ඩායම් ගත විය යුතුය. එහෙත් ඇස් බැඳ තාවකාලික අන්ධයින් ලෙසය. එම සතුන්ට අමතරව කැලයේ සිට පැමිණි නරි, ගොණ්නු, දීවියන් ආදී සතුන් ද නාද කරන්නට විය. එයද හරිම විනෝද ජනක අංගයක් විය. සතුන්ද නාද කරමින් ගමන් කරයි. කෙසේ හෝ තමන්ට අදාල සත්වයා අල්ලා ගත යුතුය. අවසන කණ්ඩායම් තුන සීතාලෙන, ලකේගල සහ ඩින්ස්ටන් විය.

තාවකාලිකව අන්ධයින් වී කණ්ඩියම් ගත වීමට

ඞීන්ස්ටන් කණ්ඩායම (ඉහළ) සහ සීතාලෙන (පහළ) අභියෝගවලට මුහුණ දෙමින්

ලකේගල කණ්ඩායම සාර්ථකත්වය කරා

සියළු ක‍්‍රියාකාරකම් අවසන කුඩාදරුවන් වැඩිපුර සිටිම නිසා තමන්ට අසාධාරණයක් වියැයි මැසිවිලි නැගූ සීතාලෙන කණ්ඩායම ප්‍රථම ස්ථානය දිනා ගත් අතර ඩින්ස්ටන් දෙවන ස්ථානයද වැඩිහිටියන් වැඩිපුර සිටි ලකේගල තුන්වන ස්ථානයද ලබා ගත්තේය.

ගිම්හාන කඳවුර නිමා කරමින් අපි සවස 02.00 ට පමණ මහළකොටුව ගම්වාසීන්ගෙන් සමු ගතිමු. ලග්ගල පල්ලේගම මාර්ගයේ පැමින ඇලහැරට ලඟාවිමු. 1 වන අග්බෝ රජු විසින් අඹන්ගඟ හරස් කොට තැනූ යෝධ වේල්ලේ නටඹුන් නැරඹු අප පිරිස මෙම ජලය ඇලහැර ඇල මාර්ගය ඔස්සේ දියබෙදුමේ දි දෙපසට බෙදී ගිරිතලේ සහ මින්නේරිය වැව් පෝෂණය කරන බවද මින්නේරියෙන් කන්තලේ දක්වා මෙම ජලය ගමන් කරන බවද දැන ගන්නට ලැබින. මෙවැනි මහා නිර්මාණයන් කරමින් අපේ පැරණි රජ දරුවන් රට සශ්‍රීක කිරීමට ඇවැසි ඥාණයෙන් ද කැපවිමෙන් ද ඉහළ ආස්ථානයක සිටි බව අපට පසක් විය. වැවක රොන්මඩ ටික ඉවත් කර ගැනිමටත් විදෙස් ආධාර පතන වර්තමානයත් එදා අතීතතයත් අපට පසක් කළේ රටක් ලෙස අප කෙතරම් පරාධීන තැනකට ගමන් කර ඇත්දැයි යන වගයි.

1 වන අග්බෝ රජු විසින් නිර්මාණක කරන ලද අඹන්ගඟ හරස් කර තැනූ වේල්ල…

බකමූන හරහා මින්නේරිය-ගිරිතලේ ස්වභාව රක්ෂිතය හරහා දඹුල්ල ඔස්සේ අපි ගමන් කළෙමු. මිහිතල එෆ් එම් සේවය ඔස්සේ ‘‘පුළුවන්නම් දිනා ගන්න බැරිනම් අනා ගන්න ’’ ප්‍රශ්න විචාරාත්මක තරඟය ඇරඹිමු. මෙම චාරිකාව තුළින් ලබාගත් දැණුම සැමට ආවර්ජනය කරමින් සැකසුන ප්‍රශ්න 8 ක් තරඟකරුවන්ට ලැබුන අතර තරඟ කරුවන් 5 දෙනෙකි. ඉන් දෙදෙනෙක් අවසන් ප්‍රශ්නය දක්වා නිවැරදිව පිළිතුරු සපයමින් මුළු ත්‍යාග මුදලම දිනා ගත් අතර එක් තරඟ කාරියක් මූළු ත්‍යාග මුදලින් හරි අඩක් දිනා ගන්නා ලදී. දැණුම,සතුට විනෝදය රැඳි ගිම්හාන කඳවුර – 2012 සාර්ථක ලෙස නිමා කරමින් 2012 සැප්තැම්බර් 03 වන දින අළුයම් යාමයේ සිය නිවෙස් වලට පැමිණිමට සහභාගිකයින්ට හැකි විය.

ප‍්‍ර‍්‍රථම ස්ථානය දිනා ගත් සීතාලෙන කණ්ඩායම ත්‍යාග දිනා ගනිමින්

පුළුවන්නම් දිනා ගන්න නැතිනම් අනාගන්න තරඟයෙන් ජයග‍්‍රහණය ලබා……

ජය වේවා!

(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)

ගොනු කර ඇත්තේ: කඳු තරණයදිගු දුරක් ඇවිදීමසංස්කෘතික සවාරි

Tags:

RSSComments (4)

Leave a Reply | Trackback URL

  1. Gim says:

    ඉතා රසවත් චාරිකා විස්තරයක්. බස් රථය බිම වදින අවස්ථාව සහ ලෝකාන්තය අසල සුළං සහිතව සිටින ආකාරය ඉතා බියකරුයි. ඕනෑම ගමනකදී එයට උචිත පරිදි කල් ඇතුව දැනුවත්ව යෑම කා හටත් ඉතා ප්‍රයෝජනවත් වේ.

  2. roville says:

    its wonderful to see such programs that encourage the youth in this country…..good work guyz

  3. ලක්මාල් says:

    කණ්ඩායමක් විදියට කරපු නියම වෑඩක්.

  4. Janith Kumara says:

    එම වසනවන්ත ඩවස් තුන ජීවිතයෙන් මග
    හෙරීම අවසනවක් බලන් ඉන්නව මතු අවස්තව යලි උදා වන තුරු

    ජනිත්

Leave a Reply