වවුල්පනේ හිරිගල් ගුහාව – ලංකාවේ එකම අභ්‍යන්තර කිවුල් දිය ඇල්ල

කතෘ : විරාජ් රත්නප්‍රිය
කතෘ හා සම්බන්ද වන්න : viraj_rathnapriya@yahoo.com
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
2010 මාර්තු දෙදින චාරිකාවක ‍පලමුවන දිනය 5 යහපත් CJ5 ඇමරිකානු ජීප් රථය
මාර්ගය
ගම්පහ/කොළඹ-> රත්නපුර -> පැල්මඩුල්ල ->මාදම්පේ ->පල්ලේබැද්ද තුංතොට හංදිය ->වවුල්පනේ
නවාතැන
මාදම්පේ පිහිටි අපේ හොඳ හිතවතකුගේ නිවසක්
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • බිමට ජලය රැගෙන යාමත් කුඩයක් වැනි අව් වැසි ආවරණයක් රැගෙන යාමත් වැදගත් විය හැක.

  • තුංතොට මංසන්ධියෙහි සිට බුළුතොට කරා දිවෙන මාර්ගය පුළුල්කිරීමේ කටයුතු මේදිනවල සිදුවන බැවින් ගමනාගමන අපහසුතා ඇතිවිය හැක.නු ඇත.

  • තුංතොට මංසන්ධියෙහි සිට කි.මී 10ක දුරකින් එහෙමත් නැතිනම් දෙනියාය-රක්වාන මාර්ගයේ බුළුතොට සිට කි.මී 14ක දුරකින් වවුල්පනේ සංවර්ධන මාවත හමුවනු ඇත. එහි තවදුරටත් කි.මී 3කට නොවැඩි දුරකින් වවුල්පනේ සුප්‍රසිද්ධ හුණුගල් ගුහා පිහිටා ඇත.

  • වවුල්පනේ සංවර්ධන මාවත පටු සහ වංගු ගහන කදුකර මාර්ගයක් වන අතර ගමනාන්තය දක්වා සුවිසල් බස්රථ හෝ උසින් අඩු කාර් වැනි රථවාහන ධාවනය කල නොහැක.

  • වාහන නැවතුම්පලෙහි සිට විනාඩි 15ක පමණ පාගමනකින් වවුල්පනේ සුප්‍රසිද්ධ හුණුගල් ගුහා වෙත ලගාවියහැක.

  • ගුහාව තුල වසන ලක්ෂ සංඛ්‍යාත වවුලන්ගේ වසුරු වලින් ගුහාවේ බිම අඟල් ගනනක් වැසී පවතින අතර ඔබට ගමන්කිරීමට සිදුවනුයේ ලෙස්සනසුළු ගල් මතුපිටය. ඉතා උසස් වර්ගයක වැඩි ඝර්ශණයක් ඇති පතුල් සහිත පාවහන් වර්ගයක් ඔබසතු නොවේනම් වවුලන්ගේ වසුරු මත නිරුවත් දෙපයින්(සහ ඇතැම්විට සිවුපයින්) ගමන්කිරීමට ඔබ හිතහදාගත යුතුවේ.

  • ගුහාව ඇතුලත සම්පූර්ණයෙන්ම අදුරු බැවින් විදුලි පන්දමක් ඔබ සතුවියයුතු අතර එය හිසෙහි පලඳන වර්ගයේ එකක්නම් වඩා උචිතය. ඡායාරූප ලබාගැනීම සඳහා ඉතා ප්‍රභල ආලෝක ප්‍රභවයක් ඔබ සතුවිය යුතු අතර ආලෝකය හේතුවෙන් කලබලවන වවුලන් ඉදිරියේ සන්සුන්ව හිදීමේ හැකියාව ඔබසතු වියයුතුය.

  • හිසමත පතිතවන වවුලන්ගේ වසුරු වලින් ආරක්ෂාවීම සඳහා හිස්වැස්මක් පැලඳ සිටීමත්, මැක්කන්ගේ සපාකෑම් වලින් ආරක්ෂාවීමට අත්දිග කමිසයක් සහ ¾ දිගු කලිසමක් ඇද සිටීමත් වැදගත්.

  • අවශ්‍යනම් ගුහාවේ එක්පකින් ඇතුළුවී එහි අනෙක් පසින් පිටවීමේ හැකියාව පවතී. නමුදු ඒ සඳහා ඔබගේ කර මට්ටම දක්වා (වසුරු මුසු) හල්විනි ඔයෙහි ගිලෙමින් ඉන් එතෙර වියයුතු‍වේ.

  • සංචාරය අවසානයේදී ස්නානයකොට පිරිසිදුවීම සඳහා සබන්,තුවා ආදී අවශ්‍ය දෑ රැගෙනයාම වැදගත්.

  • ඔබගේ පාසටහන් පමණක් ඉතිරි කරන්න. ඔබ සමග ගෙනයන අන් සියල්ල ආපසු රැගෙන එන්න

පිදුම, සංචාරයට රුචි ඔබ සැමට.

මේ සංචාරක සටහන කියවන ඔබ, කවරදාක හෝ වවුල්පනේ හිරිගල් ගුහා නරඹලා තියෙනවාද? එහෙම නැතිනම්, පරිසර සංචාරකයෙක් විදිහට ඔබේ සංචාරක දිවිය සම්පූර්ණ නැතැයි කියා මම අද ඔබට කියනවා. ඒ මොකද, වසර කෝටිගනනක් පැරණි, අතිසුන්දර හිරිලඹින් සහ හිරි ටැඹින් පිරුණ වවුල්පනේ හුණුගල්ගුහා ගවේෂණයෙන් ලැබෙනා අත්දැකීම, අනෙකුත් ඒ හා සමාන පරිසර සංචාර හා සැසදීමේදී බොහෝම වෙනස් සහ විරල ගණයේ සංචාරක අත්දැකීමක් වන නිසාමයි.

වවුල්පනේ සංවර්ධන මාවත ආරම්භවන ස්ථානයේ ඇති දැන්වීම් පුවරුව

මෙම අත්දැකීම ලබන්න යන ඔබ, කිසියම් ආකාරයක සොබාදහමේ පරීක්ෂණයකට ලක්වනබවනම් කිවයුතුමයි. ඒ මොකද කිව්වොත්, හිතේ ඇතිවන අපුල මැඩගෙන, ලක්ෂ සංඛ්‍යාතවූ වවුලන්ගේ වසුරුවලින් අපවිත්‍රවූ, ඇටපල් කරුවල ගුහාවක්තුල, ඇඟ හරහා දුවන කැරපොත්තන් සහ නිරතුරුව ඔබේ සම සිදුරුකරන මැක්කන් සමුදායක් සමග දෙපයින් සේම වරින්වර සිවුපයින්ද ගමන්කරමින් ගවේශණ කටයුත්ත නිමකිරීමට ඔබට සිදුවන බැවිනි. ඔබ එයට සූදානම් නැතිනම්, ගුහාව තුලට නොගොස් ගුහා ද්වාරයන් ගවේෂණයෙන් පමණක් සෑහීමකට පත්වීමට සිදුවනුඇත.

වවුල්පනේ…

වවුල්පනේට ලඟාවෙන්න තියෙන මාර්ග දෙකෙන් පල්ලේබැද්ද හරහා දිවෙන මාර්ගය වඩා පහසු නිසාම, අප පස්දෙනෙකු පටවාගත් විවෘත ජීප් රථය පල්ලේබැද්ද තුංතොට හංදියෙන් බුළුතොට දෙසට හරවනු ලැබුවා. මාර්ගයේ සංවර්ධන කටයුතු සිදුවෙමින් පැවති නිසා, ගමනට පුංචි පුංචි බාදාකිරීම් ඇතිවුනත් කි.මී. 10ක ගමන අවසානයේදී වවුල්පනේ සංවර්ධන මාවත හොයාගන්නඑක එච්චරම අමාරුවුනේ නැහැ.


තුංතොට හංදියෙන් බුළුතොට දෙසට – මගී ප්‍රවාහන සේවයක්.වවුල්පනේ සංවර්ධන මාවත ආරම්භ වන තැන හොයාගන්නඑක එච්චරම අමාරුවුනේ නැහැ

පටු බෑවුම් සහිත මාර්ගයක් වෙච්ච වවුල්පනේ සංවර්ධන මාවත, තැනින්තැන කොන්ක්‍රිට් අතුරා තිබුනත් බිම්වාසිය (Ground Clearance) අඩු මෝටර්රථයකට නම් තරණය කිරීම අසීරුබව තමයි කියන්න වෙන්නේ.


අපරැගත් ජීප්රථය වවුල්පනේ ග්‍රාමයට ලඟාවුණා

කිලෝමීටර දෙකක ඇවෑමෙන් අපරැගත් ජීප්රථය වවුල්පනේ ග්‍රාමයට ලඟාවුණා. වාහන නවත්වන්න පුංචි නැවතුම්පලකුත්, උවමනා අඩුවැඩිය ගන්න ඕනනම් කඩපොඩිත්තකුත් එතන තිබුණා. අපේ ගමනට සංචාරය වගේම වවුල්පනේ ගැන පොඩි වාර්ථාමය වීඩියෝවක් සකසන එකත් ඇතුලත්වෙච්ච නිසා, මේ කඩපොඩිත්ත ලඟින් මාර්ගෝපදේශකයකුත් ගමනට එකතුකරගන්නඑක වඩා වැදගත් බව අපට වැටහුනා.

අඩුවැඩිය ගන්න ඕනනම් කඩපොඩිත්තකුත් එතන තිබුණා.

ඒඅනුව ගමනට එකඟවූ ගම්වාසියකු සමග, බොරළුපාර දිගේ මීටර් 400 ක් පමණ දුරක් ඇවිදගිය අප, කුඩා තුංමංසලකදී හල්විනි ඔයට සමාන්තරව දිවෙන අඩිපාරකට අවතීර්ණ වුනා. තවදුරටත් ඉදිරියට ගමන්කරමින් මීටර 300 ක පමණ දුරකදී හමුවූ තවත් අතුරු මාර්ගයකින් පහලට ගමන් කරමින්, මෑතකදී තැනූබව හැඟෙන නැරඹුම් වේදිකාවක් වෙත අප ප්‍රවේශය ලැබුවා. එතැන් සිට තරමක දල බෑවුමක් ඔස්සේ පහල බසිමින් සුප්‍රසිද්ධ වවුල්පනේ හුණුගල් ගුහාවෙහි එක් විවරයක් වෙත ලඟාවෙන්නට අපට හැකියාව ලැබුණා.

වවුල්පනේ හුණුගල් ගුහා සොයා….
හල්විනි ඔය
අඩිපාර ඔස්සේ
මෑතකදී තැනූබව හැඟෙන නැරඹුම් වේදිකාවවවුල්පනේ හුණුගල් ගුහාවෙහි එක් විවරයක් වෙත ලඟාවෙන්නට
තරමක දල බෑවුමක් ඔස්සේ පහල බසිමින්

එතෙක් පැවති වියලි කාලගුණය හේතුවෙන් වැහැරීගිය හල්විනි ඔය අපගේ දෙපා අද්දරින් හුණුගල් ගුහාව වෙත ඇතුළුවනු ලැබුවා. මෙම ගුහා විවරය ආසන්න වශයෙන් අඩි 18X15 ප්‍රමාණයේ එකක් වූ අතර ප්‍රධාන ගුහා දෙකකින් සමන්විත වුණා. අප තරණය කිරීමට පිවිසි සම්පූර්ණ ගුහාව මීටර් 450ක පමණ දිගකින් යුක්තබවත් එහිදී දැනගන්නට ලැබුණා. හල්විනි ඔය දකුණු ගුහාව ඔස්සේ ගමන් කරනවිට අපගේ ගමන් මාර්ගය යෙදී තිබුනේ වම් ගුහාව ඔස්සේයි. තෙතැති ගල්මත වැටුන වවුල් වසුරු හේතුවෙන් ඒවා ඉතා ලෙස්සනසුළු බවකින් යුක්ත වූවා. ඒ නිසාවෙන් අපගේ මාර්ගෝපදේශකයාගේ යෝජනාව මත, හිත තුල ඇතිවූ මහත්වූ අපුල මැඩගනිමින්, අපට නිරුවත් දෙපයින් ගුහාව තරණය කිරීමට සිදුවුණා.


ගුහා ද්වාරය අද්දර

තෙතැති ගල්මත වැටුන වවුල් වසුරු හේතුවෙන් ඒවා ඉතා ලෙස්සනසුළු බවකින් යුක්ත වූවා.

ඇතුළුවෙන්නයි යන්නේ
හිසමත රඳවන ලද බලසම්පන්න විදුලිලාම්පු වලින් සන්නද්ධව
මීටර් කිහිපයක් ඇතුලට යත්ම පරිසරය මුළුමනින්ම අඳුරු වුණා

මීටර් කිහිපයක් ඇතුලට යත්ම පරිසරය මුළුමනින්ම අඳුරු වුණා. අදුරු පරිසරයෙහි රජවරුන් වූ දලියන් සහ කැරපොත්තන් දහස්ගනනක් අපපිලිඹද විමසිල්ලෙන් පසුවන අතරතුර, ලක්ෂ ගණනක් වූ මැක්කන් විශේෂයක් අපගේ ශරීර ආක්‍රමණය කරමින් සිටියා. අපගේ හිසට ඉහලින් එල්ලීතිබී හිරිලඹත්, පහලින් ඉහලට නෙරාගිය හිරිටැඹත් අමුතු පරිසරයක් නිර්මාණය කර තිබුණා. විදුලි පන්දම් එලියට කලබලවූ වවුලන්ගෙන් සමහරෙක් ඔබ මොබ පියඹා ගිය අතර, ලක්ෂ ගනනක් ගුහාවෙහි පියස්සෙහි එල්ලීගෙන උන්නා. ඒත් ඉතින් ආසාවටවත් ඉහල බැළුවොත් මූනපුරා වවුල් වසුරුපාරක් වරදින්නේ නැතිනිසා කණ්ඩායමේ කවුරුවත් එකඑල්ලේ ඉහල බලන්නට තරම් එඩිතර වුනේනම් නැහැ.

රටා මවන ගුහා බිත්ති

වවුල්පනේ ගුහාව තුල විශේෂ 6 කට අයත් වවුලන් ලක්ෂ පහක් පමණ ඇතැයි සැලකෙනවා. ඒ වගේම මෙහි අදුරු පරිසරයට අනුකරණයවූ දලියන්, කටුස්සන්, ගෙම්බන්, මීයන් සහ විවිධ කෘමි විශේෂත්, ඒවගේම ගුහාව මැදින් ගලායන හල්විනි ඔයතුල අඳුරු පරිසරයට අනුකරණයවූ මත්ස්‍ය විශේෂත් ඇතිබව දැනගන්නට ලැබුණා.

අපගේ හිසට ඉහලින් එල්ලීතිබූ හිරිලඹ

දුප්පත් රජයේ සේවකයකු වූ මා හැරෙන්නට අපගේ කණ්ඩායමේ අන් සියළුදෙනා, නිදහස් දෑතින් සහ හිසමත රඳවන ලද බලසම්පන්න විදුලිලාම්පු වලින් සන්නද්ධව සිටි අතර, මා සතුවූයේ සාමාන්‍ය LED විදුලිපන්දමක් පමණයි. ඒහේතුවෙන් කැමරාවත් විදුලිපන්දමත් සමඟ නිදහස් නොවූ දෑතින් ලෙස්සන සුළු ගල් මතින්, වසුරු තටාක මතට නොවැටී ගමන්කිරීමට අතිමහත් පරිශ්‍රමයක් දරන්නට මාහට සිද්දවුණ බවනම් මෙහිදී සදහන්කරන්නම වෙනවා. ඒ මදිවාට ඇතැම් ස්ථානවලදී ගමන්කරන්නට සිද්ධවුණේ, දෙපයින් නොව සතකුමෙන් සිවුපයෙනුයි.

අදුරු පරිසරයට අනුකරණයවූ දලියන්

ලෙස්සන සුළු ගල් මතින්, වසුරු තටාක මතට නොවැටී

ගුහාවෙහි මධ්‍යයට වන්නට සුවිශේෂී දිය ඇල්ලක් දැකියහැකි වෙනවා. අඩි 60ක පමණ උසකින් යුතු මෙම දිය ඇල්ල, ලංකාවේ උසම අභ්‍යන්තර දිය ඇල්ල වනවා විතරක් නොවෙයි ලෝකයේම දෙවෙනි උසැති අභ්‍යන්තර කිවුල්-දිය ඇල්ල ලෙසින්ද සැලකෙනවා.(මම වැරදිනම් කරුණාකර නිවැරදි කරන්න) ගම්වැසියන්ට අනුව මෙම දිය ඇල්ල වසරපුරා ඒකාකාරව පවතින්නක්. මොකද තරමක අසමාන්‍ය කාරණයක් වුනත්, මෙම දියඇල්ලෙහි ජලධාරිතාවට, ගුහාව පිහිටි වවුල්පන ප්‍රදේශයේ පවතින දේශගුණයෙන් බලපෑමක් එල්ලවෙන්නේ නැතිබව තමයි දැනගන්න ලැබුනේ.

ලංකාවේ උසම අභ්‍යන්තර දිය ඇල්ල

ඇල්ල පටන්ගන්නා ස්ථානයේද අතුරු ගුහාවක් දකින්නට පුළුවන්. එයද වවුල් රජදහනක් බවයි දුර්වල විදුලිපන්දම් එලිය පෙන්වා දුන්නේ. දියඇල්ල පසුකලවිට හල්විනි ඔය, උසින් අඩු කවුළුවක් තුලින් ගලායනවා දැකගන්න පුළුවන්. අවශ්‍යනම් කරවටක් වවුල්වසුරු මුසු හල්විනි ඔයෙහි ගිලෙමින් ගුහාවෙහි අනෙක් අන්තය වෙත ගමන්කිරීමේ හැකියාව තිබුනත්, කැමරා ආම්පන්න සමග ඒ කටයුත්තෙහි අසීරුතාව වටහාගත් අප, නැවත ගුහාවෙන් ඉවතට පැමිණ විරුද්ධ පැත්තේ විවරයෙන් එම ස්ථානය දක්වා පැමිණෙන්නට තීරණය කලා. නැවතත් දෙපා, සිව්පා ගමණක අවසානයේදී අප ඇතුළුවූ ගුහාද්වාරයෙන්ම ඉවතට පැමිණි අප, දල බෑවුම තරණයකරමින් ගුහාවෙහි පියස්ස මතුපිටින් මිටර් 600 ක් පමණ ඉදිරියට ඇදුනා. අනතුරුව නැවත පහල බසිමින් ගුහාවෙහි අපර අන්තයට ප්‍රවේශය ලැබූ අප, ඒ අශ්‍රිතව වූ පොසිල යයි සැකකෙරුණ සංකේත සහ කිරිගරුඩ අවසාධිත නිරීක්ෂණය කලා. අනතුරුව ගුහාව තුලින් හල්විනි ඔයෙහි වක්කලම දක්වා ගමන්කරමින් ආපසු හැරුණ අප ගුහාව ගවේෂණය කිරීමේ කටයුත්ත අවසන් කලා.

මැක්කෝ…..

මැක්කෝ…..

දල බෑවුම තරණයකරමින් ගුහාවෙහි පියස්ස මතුපිටින්

ගුහාවෙහි පියස්ස මතුපිටින් මිටර් 600 ක් පමණ ඉදිරියට ඇදුනා

පොසිල යයි සැකකෙරුණ සංකේත

අදුරු පරිසරයට අනුකරණයවූ දලියන්

වසුරු තටාක

කිරිගරුඩ අවසාධිත

ගමන් සගයෙක්

එයින් අනතුරුව මෙම ස්ථානයට පැමිණි අඩිපාර ඔස්සේම මඳ දුරක් ආපසු ගමන්කරමින් වම්පසවූ අතුරු මඟකට හැරුණ අපට, ගුහාව තුලදී දිය ඇල්ල තනනු ලබන කිවුල්දිය දහරාව හමුවූවා. මෙම කිවුල්දිය දහරාව ගුහාවතුලට ඇතුළුවන ස්ථානය ගැමියන් විසින් ආඩාරය ලෙසින් හදුන්වනු ලබනබව දැනගන්නට ලැබුණා. ආඩාරයට මදක් ඔබ්බෙන් ගම්වැසියන් විසින් කිතුල් කොටයක ආධාරයෙන් තනා තිබූ නාන පීල්ල, වවුල් වසුරින් අපවිත්‍රව සිටි අපගේ සිරුරු පිරිසිදුකරගැනීමට පහසුකම් සැලසූවා. මෙම කිවුල් දිය ඖෂධීය ගුණයෙන් යුතු බවත්, බොහෝ ලෙඩරෝග සුවකරගැනීමේ අවස්ථාව මෙයින් ස්නානය කරන්නන්ට අත්වන බව ගැමි විශ්වාසය බවත් අපගේ මාර්ගෝපදේශකයා කියා සිටියා. සබන් භාවිතා නොකර කිවුල්දිය ස්නානයෙන් විශේෂයෙන් චර්මරෝග සුවකරගතහැකි බව තමයි දැනගන්නට ලැබුනේ. ( අපි නම් සබන් ගෑවා – නැතිනම් වවුල් බෙටි හෝදලා යවන්නේ කොහොමෙයි ?)

ආඩාරය

කිතුල් කොටයක ආධාරයෙන් තනා තිබූ නාන පීල්ල

කිවුල් දිය දහරාව

මෙම කිවුල් දිය දහරාවේ ප්‍රභවය ආඩාරයට අඩි සියයක පමණ දුරින් තමයි පිහිටලා තිබුණේ. ඒක ගැමිවහරට අනුවනම් උල්පතක්. භූ විද්‍යාත්මකව එවැන්නක් සවිවර ජල වහනය ලෙසින්ද හදුන්වනු ලබනවා. ගැමියන්ට අනුව කොතරම් වැස්සත්, කොතරම් පෑව්වත් මෙම උල්පතෙහි ජලය එකම වේගයකින් හා පරිමාවකින් ගලාඑනබව කියැවෙනවා. ඒ අනුව මේ උල්පත පොලවෙහි ඉතා ගැඹුරු ස්ථරයක සිට පැමිණෙන බවට අනුමාන කරන්න පුළුවන්.

ගැමිවහරට අනුවනම් මේක උල්පතක්

ප්‍රාදේශීය සභාව විසින් එතැන පිහිටුවාතිබුන පුවරුවක, කිවුල්දිය උල්පතෙහි ජලයගැන වැඩිමනත් තොරතුරු දක්වා තිබුණා.

කිවුල්දිය උල්පතෙහි ජලයගැන වැඩියමක්

ඔබ කිවුල්දිය ස්නානයට අකමැතිනම්, වවුල්පනේ ගවේශණය අවසානයේදී පිරිසිදුවීම සදහා ඔබට හල්විනි ඔයෙහි ඉහල කොටසේ (ඔය ගුහාවට ඇතුළුවීමට පෙර) පවතින නාන තොටුපලක් ඒ සදහා යොදාගන්නත් හැකියාව තියෙනවා. එහෙමත් නැතිනම් ඒ වෙනුවෙන්ම නිමවූවාදැයි සැක හිතෙන තරමේ ස්වභාවිකව නිමවුණ යෝධයා කැපූ වල නමැති ද්විත්ව පොකුණත් භාවිතාකරන්න පුළුවන්. මේවා වවුල්පනේ නරඔන්න එන සංචාරකයන්ගේ පහසුව සදහා සොබාදහමෙන්ම ලැබුන මහඟු දායාද විදිහටයි මටනම් හැඟුණේ.

යෝධයා කැපූ වල

අනෙකුත් බොහෝ සංචාර අවසානයේදී වගේම එදාත් සංචාරය අවසන්කරමින් අප විවෘත ජීප්රථයට ගොඩවදින මොහොතේ පසුපස ආසන දැරූවන්ගේ දාහය නිවන්නදෝ, පුංචි මල්වැස්සකුත් කඩාගෙන වැටුණා. ඉතිං නැවත මෙවන් සුන්දර සංචාරයක තොරතුරු සමගින් හමුවනතුරු,

ජය වේවා!

(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)

ගොනු කර ඇත්තේ: ගල්ගුහා නැරබීමදියඇලි

Tags:

RSSComments (23)

Leave a Reply | Trackback URL

  1. හරී says:

    විරාජ් අයියා ගියේ 2010 දීද? (අයියා කිව්වට තරහාවෙයිද මන්දා?)

    මම ගියේ 2012 මැයි.. එතකොට නම් ඔය පුවරු වල්බිහිවෙලා තිබ්බෙ..

    හොඳ විස්තරයක්.. මාත් මේ ගැන ලියන්න හිටියෙ.. දැන් ඉතින් ඕනෙ නෑනෙ.. :)

    ස්තුතියි!

    • viraj says:

      හිතවත් හරී,

      “විරාජ් අයියා ගියේ 2010 දීද?“
      නැහැ නැහැ මේ අවුරුද්දේ මාර්තු මාසේ. දිනේෂ් cut & paste කරත්දී දිනට ටැපලිලා හි..හී…

      “අයියා කිව්වට තරහාවෙයිද මන්දා?“
      අම්මෝ නැහැ මලේ…, අංකල් කියන එකත් දැන් දැන් අහලා පුරුදුයි බං.

  2. subhashini says:

    මට යන්න නොහෙකි වුනාට මම සිතින් ඔබේ වාර්තාව සමග ගමන ගියා හරිම රසවත්

  3. විරාජ් අයියා මට දැන ගන්න පුළුවන් ද කවුද ෙම් දුප්පත් රජෙය් ෙස්වකයා කියලා. ෙකාහොම නමුත් ඔබෙග් ජිප් රිය ගැන නම් ඉතින් කුමන කථා ද කථා කිරිමට ෙනාහැකි වුනත් ෙම් වෙග් චාරිකාවක් නැවත යන්න අසායි. ඔබ සියුලු ෙද්නාට ජය

    • viraj says:

      අසංග මලේ,

      ඇත්ත තමයි. බොහෝ කාලයකින් චාරිකාවකදී එකතුවුනේ නැහැ නොවැ.
      යමු.., යමු,
      ආයෙත් අර “යක්ෂයාගේ පඩිපෙල“ ගියා වාගේ off road චාරිකාවක් යමු.

  4. Dammika Premaratne says:

    I have seen this type of caves in malaysia & thailand. It’s a good effort by your team. I wish you the best for this type of adventurous trips!

    • viraj says:

      Dear Dr.

      Thank you very much for the encouraging comment.

      “I have seen this type of caves in malaysia & Thailand”

      Oh, definitely it might be a marvelous experience.
      BTW, Once I watched a movie on the same. As per my memory the name of the film was “Sanctum”

  5. Kamini de Silva says:

    ඓ රේල්ල්ය් එන්ජොයෙඩ් ඉට්.ථන්ක් යොඋ වෙර්ය් මුච්.ඓ එන්ටෙරෙඩ් ම්ය් එ මඉල් අස් අබොවෙ බුට් ඉට් රෙජෙcට්ස් ඉන්ඩිcඅටින්ග් නොට් අ රේල් ඔනෙ,අcටුඅල්ල්ය් ඉට් ඉස් ම්ය් එ මඉල් අඩ්ඩ්‍රෙස්ස්,ප්ල් සෙන්ඩ් යොඋර් පර්ටිcඋලර්ස් ටො

    • viraj says:

      Dear Kamani,

      It’s a glad that you have enjoyed the trip report.

      My email address is indicated at the top of the post and you can contact me with the same.

      Thanks for the comment.

  6. Dilshan says:

    අපූරු ගමනක්. මේ ගමන මගෙත් හීනයක්.

    • viraj says:

      Dear Dilshan,

      ඇත්තෙන්ම අපූරු අත්දැකීමක්.

      ඉඩක් ලද වහාම ගිහින් බලන්න

  7. Hasitha says:

    නියම චාරිකාවක්

  8. Praසන්ன says:

    කට්ටිය ගිහිල්ල තියෙන්නෙ අපේ පැත්තෙන්නෙ.

    අපේ පැත්තට ළඟින්ම තිබුණත් මාත් තවම ගිහිල්ල නෑ. යන්න බලාපොරොත්තුවක්නං තියෙනව.

    • viraj says:

      අය්යෝ ප්‍රසන්න. ඕක තමයි කියන්නේ ලඟ තියෙන දේවල් අගේ නැහැ කියලා.
      යන්න, යන්න..,
      පුළුවන් ලඟම දවසේ ගිහින් බලන්න.

      ආ…, තව එකක්.
      ප්‍රසන්නලාගේ ගෙදර තියෙන්නේ කහවත්ත/ගොඩකවෙල පැත්තේද ?

      • Praසන්ன says:

        අපි ඉන්නෙ ගොඩකවෙල.

        • viraj says:

          Praසන්ன,

          ඔයපැත්තට යෙදෙන පලමු සංචාරයේදීම ගෙදරට ගොඩවදින්න එනවා ඔන්න. (මගේ තව යාළුවෙකුත් ඉන්නවා ගොඩකවෙල ඩිපෝව (රක්වාන මාර්ගය ආරම්භවන මංසන්ධිය) ආසන්නයේම වාගේ ඔන්න)

  9. අමිල says:

    බොහොම වැදගත් රසවත් ලිපි පෙලක්.දැනට දවස් 5 විතර කලින් තමයි මේ සයිට් එක දැක්කේ.බුක් මාක් දාගෙන ඉඩ ලැබෙන හැම වෙලාවකම කරන්නේ මෙහි තියෙන ලිපි කියවන එක.පිටරටවලට වෙලා රැකියා කරන අපි වගේ අයට අපේ රටේ තැන් වලට මෙහෙම හරි යන්න ඉඩ කඩ සලසා දෙන නඩේගුරාට ජයවේවා….

    • admin says:

      අමිල සහෝදරයා.. ස්තුතියි ඔබගේ comment එකට
      ඔබ වගේ පිටරට සිටින සිංහල බස නිතර දෙවේලේ නොදකින / නොඇසෙන අපේ සහෝදර / සහෝදරියන් උදෙසා නඩේ ගුරා සංවිධානය නිරතුරුව අපගේ වෙබ් අඩවියේ ඉඩක් වෙන් කරන අතර ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනදෙන ඔබලා හට අපගේ ප්‍රණාමය පුදකර සිටිනවා.
      ලංකාවට ආවම සෙට් වෙමු.

  10. නිශ්ශංක says:

    පහු ගිය 25 වෙනිදා අපිත් ගියා, පට්ට පොට් එකක්. මේ ගැන කලින් අහල තිබ්බට විස්තර දැනගත්තේ මෙතනින්. Thanx dude

    • viraj says:

      නියමයිනේ,

      අපේ සංචාරක සටහනක් ඔබේ සංචාරයක් නිසිපරිදි සැලසුම් කරගැනීමට මහෝපකාරීවීනම් එය අපගේ බලාපොරොත්තු සඵලවීමක් විදිහට තමයි අපට දැනෙන්නේ. ඒ බැව් සදහන්කර අපව දිරිමත්කිරීමට නිහතමානීවීම පිලිඹදව අපගේ ප්‍රණාමය පුදකරන්නට කැමතියි.

Leave a Reply