හපුගස්තැන්න ( දෙහෙනකන්ද-මුක්කුවත්ත ) දුෂ්කර වනගත මාර්ගය ඔස්සේ ශ්‍රීපාදස්ථානයට

කතෘ : සමීර ජයතිලක
කතෘ හා සම්බන්ද වන්න : sameera077748@yahoo.com
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
2013 අප්‍රියෙල් 2 6 යහපත් වෑන් රථය
මාර්ගය
කොළඹ – > රත්නපුර -> දෙහෙන කන්ද -> මුක්කුවත්ත ->ශ්‍රී පාදය
නවාතැන
සිරිපා මලුව 
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • බිමට ජලය රැගෙන යාමත් කුඩයක් වැනි අව් වැසි ආවරණයක් රැගෙන යාමත් වැදගත් විය හැක.

  • ඔබගේ පාසටහන් පමණක් ඉතිරි කරන්න. ඔබ සමග ගෙනයන අන් සියල්ල ආපසු රැගෙන එන්න

  • ඉතාමත් දුෂ්කර මාර්ගයක් වන අතර නඩේ ගුරා සංවිධානය කිසිම විටක මෙම මාර්ගය භාවිතා කිරීම අනුමත නොකරන අතර වගකීම ඔබ සතු වේ.

  • සොබා දහමේ සින්නක්කර අයිතිය සොබා දහමටම ලබාදෙන්න එය ඔබේ නොව මතු පරපුරේ උරුමයයි මතක තබාගන්න ඔබගේ මවටද ජීවය දුන්නේ මේ සභාකෙතයි එය කෙලෙසීම තම මව කෙලෙසුවා හා සමානයි

  • නඩේ ගුරා සංචාරක හා සංරක්ෂණ සංවිධානය වෙනුවෙන් හපුගස්තැන්න සංචාරය සැලසුම් කල නිර්මාල් සොයුරාව හා නඩේ ගුරා සංවිධානය වෙනුවෙන් සහභාගී වූ සාමාජිකයන් සිහිපත් කරනු කැමැත්තෙමි.

පිදුම, සංචාරයට රුචි ඔබ සැමට.

සුපුරුදු පරිදි ඉතා අගනා වටිනා වන්දනා ගමනක් යෑමේ අදිටන ඇතිව මා සිකුරාදා රාත්‍රියේ රත්නපුර, මාදම්පේ නිර්මාල්ගේ නිවසට සේන්දු උනෙමි. මා එහි යන විටත් නිර්මාල් හා මිලිදු එහි පැමිණ හමාරය. ගමනට අවශ්‍ය ආහර ද්‍රව්‍ය හා අනෙකුත් දෑ පිළියෙල කරගැනීමෙන් අනතුරුව පැය 2 1/2 පමණ කෙටි නින්දක යෙදී පාන්දර 3.30ට පමණ නිර්මාල්ගේ මව විසින් සාදාදුන් බත් හා පාන් ආදියද රැගෙන කොළඹ බලා ඇදෙන බස් රථයකට ගොඩවීමු. රත්නපුර බස් ඩිපෝව අසලට අප තිදෙනා සේන්දු වන විට සුමුදු , අනූපම හා විරාජ් අප එනතුරු මගා බලාගෙන සිටියේ ඉතා උවමනාවෙනි.

ගමන සදහා සූදානම් කරගත් ආහර ද්‍රව්‍ය වලින් කොටසක්. මෙලෙස රැගෙන යන පොලීතීන් දවටන මග නොදමා ආපසු රැගෙන ඒම අප සතු යුතුකමකි.

ගමන සදහා සූදානම් කරගත් ආහර ද්‍රව්‍ය වලින් කොටසක්. මෙලෙස රැගෙන යන පොලීතීන් දවටන මග නොදමා ආපසු රැගෙන ඒම අප සතු යුතුකමකි.

නිර්මාල් විසින් මුලින් කථාකරගත් වෑන් රථයක් අප රැගෙන මුක්කුවත්ත දක්වා ගමන් කරන්නට විය. (එක් දිනකින් ශ්‍රීපාද මළුව වෙත ලගාවීමට සැලසුම් කළ නිසා මෙලෙස වෑන් රථයක් කුලියට ගත්තද මුක්කුවත්ත දක්වා යෑමට බස් රථ ඇත.)

ගමන සදහා සූදානම් වෙමින්...

ගමන සදහා සූදානම් වෙමින්…

මුක්කුවත්ත පසුකර වෑන් රථය සරුසාර තේවත්ත මැදින් වැටී ඇති දුෂ්කර පටු මාර්ගයේ ඉදිරියට ඇදෙත්ම සියල්ලන්ගේම ඒකමතික තීරණයෙන් වෑන් රථය ආපසු හරවා ගත හැකි ස්ථානයකින් නතර කරවීය. වෑන් රථයට සමුදීමෙන් අනතුරුව අසල පිහිටි මඩුවකට ගොස් ගමන සදහා සූදානම් උනෙමු.

නිර්මාල් හා මිලිදු කූඩලු මේස් පැළද සපත්තු දමාගත් අතර විරාජ්, අනූපම හා සුමුදු රළු සපත්තු පමණක් පැළද ගත්තද මම මීට පෙර දෙවරක්ම ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට උපකාර වූ රබර් සෙරප්පු දෙක පමණක් පැළද ගතිමි. මීට අමතරව විරාජ් විසින් කූඩලු කෝටුවක්ද සකසා ගන්න ලදී.

අප මෙතෙක් වෙලා වෑන් රථය පැමිණි මාර්ගය දිගේ තවත් ඉදිරියට ඇදෙත්ම කුඩා බුදුමැදුරක් හමු විය. නිර්මාල් කී පරිදි මේ අපගේ වන්දනා ගමනේ ආරම්භක ස්ථානයයි. එහිදී අප සියළු දෙනා බුදුන් වැද සුමන් සමන් දෙවියන්ට පිං අනුමෝදන් කර, අතුරු අන්තරාවකින් තොරව ගමන යෑමට ලැබේවායි ප්‍රාර්ථනා කලේ හදපිරි භක්තියෙනි. බුදුමැදුර අසලින් පහළට වැටී ඇති මාර්ගයේ මද දුරක් ගිය විට “රත් ගග” හමු වෙයි. රත් ගග තරණය කිරීමෙන් අනතුරුව අප ඇතිළු වූයේ ලේ පිපාසිත කූඩැල්ලන්ගේ රාජධාණියටයි.

ආරම්භක ස්ථානයේ හමුවන කුඩා බුදු මැදුර. ඊ හිසින් දක්වා ඇති තැනින් පහලට ගමන් කල යුතුය

ආරම්භක ස්ථානයේ හමුවන කුඩා බුදු මැදුර. ඊ හිසින් දක්වා ඇති තැනින් පහලට ගමන් කල යුතුය

රත් ගඟ

රත් ගඟ

කූඩැල්ලන්ගෙන් බේරීමට දෙපා වල සිද්ධාලේප ආලේප කරගත් මා කණ්ඩායමේ ඉදිරියෙන්ම ඇදුනේ ගණවනාන්තරය තුළිනි. කූඩැල්ලන් හා දැවන්ත සටනක යෙදෙමින් මහ වනය මැදින් ඇති කුඩා අඩි පාරේ ඉදිරියටම ඇදෙත්ම තවත් කුඩා දිය පහරක් හමු විය. නඩයේ සාමාජිකයන්ගේ කැමත්ත මත උදෑසන ආහාරය සදහා රැගෙන ආ පාන් කා සිහිල් පැන් වල පහස විද විඩා නිවන ලද්දේ දිය පහරේ අසිරියද සමගිනි. මෙලෙස මද වේළාවක් රැදී සිටී අප නැවත ගමන ආරම්භ කලේ අවට ඇති සුන්දරත්වයද නරඹමිනි. දැන් අප ගමන් කරන මාර්ගය තරමක් පළල් වුවද මද දුරක් ගිය විට මාර්ගය පටු වී පැළෑටි වැවී වන අරණටම සින්න වෙමින් ඒ මේ අත දිව යයි.

දැඩි බෑවුම සහිත කන්දක් තරණය කරමින්...

දැඩි බෑවුම සහිත කන්දක් තරණය කරමින්…

තරමක් පළල් මාර්ගය

තරමක් පළල් මාර්ගය

එක් වරම මා තිගැස්සී පසු පසට පැන්නේ මාර්ගය අවුරාගෙන සිටි සර්පයෙකු දැකීමෙනි. එම සර්පයගෙන් අනතුරක් වීමට ප්‍රථම සර්පයාව දුටුවේ අපගේ වාසනාවටය. මෙම සිදුවීමෙන් අනතුරුව සපත්තු පැළද සිටී මිලිදු විසින් ගමනේ පෙරමුණ ඉසිලීය.

අප යන මග අවුරාගෙන සිටි හාදයා

අප යන මග අවුරාගෙන සිටි හාදයා

මෙසේ වනය තුළින් විටක තද බෑවුම්ද තවත් විටක මද බෑවුම්ද සහිත කන්ද තරණය කරමින් ඉදිරියට ඇදෙන විට එක් පසෙකින් දිස් වූයේ ගල් ගුහාවකි. එය සතුන්ගේ ලැගුම්හලක් ලෙස නිගමනය කල හැක්කේ එය තුල දිය අගලක්ද තිබෙන නිසාය. ඇතැම් අවස්ථාවලදී GPS යන්ත්‍රයේ උපකාරයද ඇතිව කදු තරණය කරමින් ඉදිරියට ඇදුනු අප තවත් කුඩා දිය පහරකට සේන්දු විය. එහිදී සුළු ආහරයක් ගිල දැමු අප බෝතල් වලට ජලය පුරවා ගැනීමට අමතක නොකෙලෙමු.

වන සතුන්ගේ ගුහාවක්

වන සතුන්ගේ ගුහාවක්

කෙමෙන් කෙමෙන් කදු ඉහලට නැගුනු අප සිටි ප්‍රදේශය මීදුම් සලුවෙන් වෙලා ගත්තේ ඉතා කෙටි කාළයකිනි. සීත මීදුම අතරින් ඉදිරියට ගමන් කරන විට ප්‍රථම වරට ශ්‍රීපාදස්ථානය අප නෙතට ගැටුනේ වනාන්තරය හා වළාකුළු අතරිනි.

ප්‍රථම වරට ශ්‍රීපාදස්ථානය දිස්වන අයුරු

ප්‍රථම වරට ශ්‍රීපාදස්ථානය දිස්වන අයුරු

භෝතිය දොළ

භෝතිය දොළ

අතරමගදි කැමරා කාචයට ගොදුරු වූ හතු වර්ග කිහිපයක්..

අතරමගදි කැමරා කාචයට ගොදුරු වූ හතු වර්ග කිහිපයක්..

අනතුරුව එක දිගටම හමු වූ පල්ලම ඉතා පහසුවෙන් තරණය කල අප පිවිසියේ මනස්කාන්ත ඉසව්වකටයි. එය නම් “බත්තළු ඔය” ගලා බසින නිම්නයටයි. ඔයේ එක් පසෙකින් දිය ඇල්ලකුත් අනෙක් පසෙන් ජල තටාකයකුත් දිස් වූයේ අපට විඩා නිවීමට ඉගියක්ද එක් කරමිනි. දිය ඇල්ලේ ඉහලට ගොස් දියඇල්ල නැරඹුවද එයින් නැවතීමට අප සිත් නොදුන් හෙයින් ඉතා අපහසු ගමනකින් පසු දියඇල්ලේ පාමුලට පැමිණෙන ලදී. එහි අලංකාරය සිත් සේ විදගත් අප ඊලගට ගමන් කලේ ජල තටාකය වෙතයි. ගමනේ මෙතෙක් විදි විඩාව නිවා ගනිමින් රිසි සේ දිය නා පිරිසිදු වූ අප නිර්මාල්ගේ නිවසින් සාදා ගෙන ආ කෙසෙල් කොළයේ එතු බත් අනුභව කලේය.

"බත්තළු ඔයේ" එක් පසකින් ඇති මනරම් දියඇල්ල

“බත්තළු ඔයේ” එක් පසකින් ඇති මනරම් දියඇල්ල

"බත්තළු ඔයේ" එක් පසකින් ඇති මනරම් දියඇල්ල

“බත්තළු ඔයේ” එක් පසකින් ඇති මනරම් දියඇල්ල

"බත්තළු ඔයේ" අනෙක් පසින් ඇති ජල තටාකය

“බත්තළු ඔයේ” අනෙක් පසින් ඇති ජල තටාකය

ටික වේළාවක් එහි රැදී සිටි අප නැවතත් වනය පීරාගෙන ඉදිරියට යන විට නැවත වරක් ශ්‍රීපාදය දර්ශණය විය. මෙලෙස කදු හෙල් එකින් එක පසු කරමින් ඉදිරියට පැමිණි අපට හමුවන අවසාන දොළපාර අසල නැවතී සුළු ආහාරයක් ගෙන නැවතත් ගමන ආරම්භ කරන ලදී. (මෙතෙක් ආ මගේ හා ඉදිරියේදී නිවැරදි මාර්ගයෙන් දෙපසට විහිදුනු වැරදි මාර්ග තිබෙන බැවින් ඉතා පරිස්සම් විය යුතුය.)

දැන් දැන් ගමනේ අවසන් භාගයට පැමිණ ඇතත් ගමන පෙරට වඩා දුෂ්කරය. බෑවුම ඉතා තදය. ලිස්සන සුළු මාර්ගයේ “නෙළු” පදුරු වලින් සැදි වියන යටින් ඉදිරියට ඇදුනු අපට රත්නපුර – ශ්‍රී පලාබද්දල මාර්ගයේ විදුලි පහන් කනු දක්නට ලැබුනි.

"නෙළු" ශාකයෙන් සැදි තුරුවියන

“නෙළු” ශාකයෙන් සැදි තුරුවියන

දුෂ්කර දුගු ගමනකින් අනතුරුව යකඩ අත්වැල් වැට පනිමින් අප සියළු දෙනා සැදෑ ඇදිරි වැටීමට පෙරාතුව රත්නපුර මාර්ගයේ මහගිරි දඹයට අවතීර්ණ විය. දැන් ඉතිරී වී ඇත්තේ ගමනේ ඉතා පහසුම කොටසයි. එයද සැණෙකින් තරණය කල අප ශ්‍රීපාද මළුවට පැමිණෙන විට වේළාව සවස 6.30 ට පමණ ඇත. වෙනදාට වඩා බැතිමතුන් අඩු වූ හෙයින් සිත් සේ උතුම් වූ ශ්‍රීපාද ලාංඡනය වැද පුදා ගැනීමට අපට හැකියාවක් ලැබින. අප රැගෙන ආ ආහර ද්‍රව්‍ය ගිල දමා විශ්‍රාම ශාලාවේ එක් කොනකට වී කල් වරමින් සිටියේ රැය පහන් වන තුරුය.

අප ආ මාර්ගය, රත්නපුර මාර්ගයේ මහගිරි දඹයට වැටෙන ස්ථානය

අප ආ මාර්ගය, රත්නපුර මාර්ගයේ මහගිරි දඹයට වැටෙන ස්ථානය

උදෑසන 5.30 ට පමණ ලහි ලහියේ සූදානම් වූයේ ඉර සේවය බැලීමටයි. වලාකුළින් තොර අහසේ ඉතා විචිත්‍රව සූර්යයා ශ්‍රීපාද මළුවට ළහිරු මඩල ගෙන ආවේ බැතිමතුන්ගේ සාදුකාර මධ්‍යයේය. තවත් ටික වේළවක් මළුවේ රැදුනු අප නඩය සුපුරුදු නල්ලතන්නිය – හැටන් මාර්ගයේ පහලට කරුණා කරන්නට විය. ඉරිදා දින සවස් කාළයේ සියල්ලන්ම තම නිවෙස් වලට ගියේ තවත් සොදුරු අත්දැකීම් සමූහයකින්ද සන්නද්ධවය.

ඉර උදාවේ අවස්ථා කිහිපයක්...

ඉර උදාවේ අවස්ථා කිහිපයක්…

බටහිර ක්ෂිතිජය සිබින ශ්‍රීපාද කන්දේ සෙවනැල්ල

බටහිර ක්ෂිතිජය සිබින ශ්‍රීපාද කන්දේ සෙවනැල්ල

නඩේ ගුරා සංචාරක හා සංරක්ෂණ සංවිධානය විසින් නිෂ්පාදිත මුක්කුවත්ත / දෙහෙන කන්ද වාර්තා වැඩසටහන

ජය වේවා!

(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)

ගොනු කර ඇත්තේ: සංස්කෘතික සවාරි

Tags:

RSSComments (35)

Leave a Reply | Trackback URL

  1. admin says:

    ඉතාමත් හොඳ වාර්තාවක් සමීර මල්ලි..
    තව තව ලියන්න ආරාධනා කරනවා.

  2. roville says:

    වොන්ඩෙර්ෆුල් journey done team, sounds awesome and exiting, a great achievement for all, good luck

  3. roshan says:

    නියම ට්‍රිප් එකක්.මුක්කුවත්තට යන්න bus තියෙන වෙලාවක් ඩන්නවඩ.

    • සමීර ජයතිලක says:

      බොහෝම ස්තූතියි. රත්නපුර සිට මුක්කුවත්තට බස් තිබුනත් වෙලාවක් ගැන නම් අවබෝදයක් නෑ. රොෂාන්, බස් එකේ යනවනම් තනි දවසින් මලුවට කරුනාකිරීම තරමක් අපහසු අභියෝගයක්.

  4. Rumal says:

    ම්ම්ම්….. මනස්කාන්ත අත්දැකීමක් වේවි…..!

  5. Very nice reporting about Sripada travel.I like so much.Unfortunately I missed it. But One day I supposed to Join with you! My congratulation to all of you..and thanks for sharing all experience.Nice pictures.also.

  6. nalin says:

    ලස්සන ලිපියක්, මමත් ඔතන හිටිය වගේ දැනුනා ,දිගටම කරගෙන යන්න නඩේ ගුරා ටීම් එකට .අපෙන් සුබ පැතුම්.

  7. supun says:

    නියමයි මමත් යන්න හිතන් ඉන්න ඉසවුවක් විස්තර ටිකට බොහොම ස්තුතියි.

    • සමීර ජයතිලක says:

      මෙම විස්තරය ඔබේ ගමනට උපකාරයක් වෙනවානම් එයයි අපේ සතුට

  8. අමිල says:

    මාර ලස්සනයි පොටෝ ටික.වාර්තාවත් ඒ වගේ.මටත් යන්න ඇත්නම් කියලා හිතුනා.

    • සමීර ජයතිලක says:

      බොහෝම ස්තූතියි. නැවත වන්දනා ගමනක් යන විට අප හා එක්වන්න ඔබට ආරාධනා

  9. Jayasinghe says:

    හුගක්ම හොඳයි . ගමන් මඟ ගැන තව විස්තර තිබුණනම් තවත් හොඳවෙන්න තිබුණ.පින්තූර නම් හරිම ලස්සනයි.

    • සමීර ජයතිලක says:

      බොහෝම ස්තූතියි. රත්නපුරයේ සිට මුක්කුවත්තට බසයකින් ගොස් එතැන් සිට ගැමියෙකුගේ උපදෙස් පරිදි 2 කි.මී. පමන බුදුමැදුර අසලට යා යුතුය. වනගත මාර්ගය ගැමියන් විසින් සෑම ශ්‍රීපාද වාරයකදීම එළිපෙහෙළි කරන බැවින් මාර්ගය සොයාගැනීම අපහසු නොවේ.

  10. Pad says:

    ඔව් මාත් ඔය පාරෙන් ගිහින් තියෙනව . පරිස්සමින් යන්න ඔනි. සත්තු ඉන්නව. ඊත් lassanai…

  11. viraj says:

    සමීර මල්ලී,

    බොහොම අපූරුවට චාරිකා සටහන ලියලා තියෙනවා නොවැ.
    ආයෙත් වතාවක් සිරිපා කරණා කෙරුවා වාගේ දැනෙනවා….
    ආයෙත් මේ වගේ වනගත චාරිකාවකින් මුණගැසෙමුකෝ.
    තව තවත් ලියන්න.

    • සමීර ජයතිලක says:

      බොහෝම ස්තූතියි. අනිවාර්යෙන්ම ඊලග චාරිකාවෙදි හමුවෙමු විරාජ් අයියා.

  12. lakmal says:

    නියමයි. campus එකේ exam ඉවර වුනු ගමන් අපේ බැජ් එකත් සිරිපාදෙ යන්න ඉන්නෙ. පින්තූර ටික මාර ලස්සනයි.

    • සමීර ජයතිලක says:

      ඒ ගමනට මෙම වාර්ථාව උපකාරයක් වේවා.

  13. Dilshan says:

    හරිම අපූරුයි. ඔයගොල්ලෝ වගේ පරිසරයට ආදරය කරන උදවිය විතරක් මේ වගේ සංවේදී පාරිසරික කලාප වල සංචාරය කරනවා නම් හොඳයි.

  14. janaka says:

    ගූඩ්

  15. Praසන්ன says:

    මාදම්පෙ කියන්නෙ මේ ළඟටම ඇවිල්ලනෙ කට්ටිය.

    නියම විස්තර සටහනක්. මාත් අවුරුදු ගානක් එක දිගට සිරීපාදෙ ගියා දැංනං ඒ ගමන නැවතිලා. ආයෙත් යන්න ආසාවක් තියෙනව.

    • සමීර ජයතිලක says:

      ආපහු වථාවක් සිරිපතුල නැමදීමට අවස්ථාව ලැබේවා

  16. Roshan Fernando says:

    සමීර නියමයි සුබපෑතුම්

  17. anupama says:

    මල්ලි නියම රෙපොර්ට් එක හරිම ලස්සනඉ ඔය නියම රෙපොර්ටෙර් කෙනෙක් පොටොස් ටොප්

  18. නිශ්ශංක says:

    මෙ වගේ පාරසරික කලාප මිනිසුන්ට විවුර්ත නොවන තරමටම හොදයි

Leave a Reply