රිටිගහඔය නිම්නය ඔස්සේ බුලත්කොහුපිටියේ සිට කොත්මලය දක්වා…..

කතෘ : විරාජ් රත්නප්‍රිය
කතෘ හා සම්බන්ද වන්න : viraj_rathnapriya@yahoo.com
අවුරුද්ද & මාසය දින ගණන පුද්ගලයන් කාලගුණය ප්‍රවාහනය
2013 මැයි 1 4 ටිකක් වැස්ස CJ5 ඇමරිකානු ජීප් රථය
මාර්ගය
කොළඹ / වේයන්ගොඩ -> නිට්ටඹුව-> ගලපිටමඩ -> අඟුරුවැල්ල -> බුලත්කොහුපිටිය -> දේදුගල -> පැල්ලම්පිටිය -> දොලොස්බාගේ -> නාවලපිටිය -> උලපනේ -> කොත්මලේ -> ගම්පොල -> මාවනැල්ල -> වේයන්ගොඩ
නවාතැන

විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
  • බිමට ජලය රැගෙන යාමත් කුඩයක් වැනි අව් වැසි ආවරණයක් රැගෙන යාමත් වැදගත් විය හැක.

  • දුනුමාල හංදියේ සිට ගලපිටමඩ දක්වා මාර්ගය අළුත්වැඩියා කෙරෙමින් පවතින බැවින් බිම්වාසිය අඩු වාහන සදහා නිට්ටඹුව රුවන්වැල්ල හරහා අඟුරුවැල්ලට ලඟාවීම වඩා සුදුසුවනු ඇත

  • පැල්ලම්පිටිය සිට දොලොස්බාගේ දක්වා වූ මාර්ගය පටුවුත් ; දැඩි බෑවුම් සමග වැලමිටි වංගු සහිතවුත් දුෂ්කර කඳුකර මාර්ගයකි. මාර්ගයේ මතුපිට තත්වයද යහපත් නොවන අතර තියුණු ගල් පතුරු ඔබේ ටයර මත සිය අණසක පැතිරවීම සදහා පෙළගැසී හිඳී. ඇතැම්විට මිහිදුමින් වැසී පවතින මෙම මාර්ගය ඉතා සුන්දර භුමි දර්ශනයන්ගෙන් පොහොසත් වන නමුදු මෙම අත්දැකීම ලැබීම සඳහා ජව සම්පන්න සේම විශ්වාසනීයවූ රළු වාහනයක් අවශ්‍යවේ.

  • අතරමගදී හමුවන මංසන්දි වලදී ය යුතු නිවැරදි මාර්ගය විමසා සිටීම සදහා කිසිවෙකු හමු නොවීමේ ඉඩකඩ වැඩි බැවින් සිතියමක් රැගෙනයාම වැදගත් වියහැකිය.

  • නොදන්නා ජලයේ ස්නානය කිරීමේදී ප්‍රවේශම් වීම වැදගත්.

  • ඔබගේ පාසටහන් පමණක් ඉතිරි කරන්න. ඔබ සමග ගෙනයන අන් සියල්ල ආපසු රැගෙන එන්න

පිදුම, සංචාරයට රුචි ඔබ සැමට.

උදේ පටන්ම වැටුන චිරි චිරි වැස්සට පුංචි විරාමයක් ලැබිලා, හින් අවුරැල්ලකුත් මිදුලපුරා පැතිරුණා. ඒ අනුව මෙතෙක් වෙලා බොහොම කණගාටුවෙන් අහස දිහා බලාගෙන උන්න නඩේ ඇත්තනගේ හිත් තුලට පුංචි බලාපොරොත්තුවක් ආයෙත් ඇතිවුණා. වැසි සමය මැද්දේ එලඹුන වෙසක් පුන් පොහෝදා වෙච්ච එදා දවස, විවෘත ජීප්රියකින් චාරිකාවක් යන්නටනම් සුදුසු දවසක් නොවෙයි. එහෙම වුනත් ලොව පුරා බොදු බැතිමතුන්හට සුවිශේෂී දවසක් වෙච්ච ඒ වගේ දවසක, බොහෝ දෙනෙක් නිරතවෙන ආමිස සහ ප්‍රතිපත්ති පූජා අතරේ, අපෙන් බොහෝ ඈතකින් පිහිටි, මෑත යුගයේ ඉදිවුන සුවිශාල පුන්‍ය ස්ථානයක් වන්දනාමාන කිරීම සඳහා දුෂ්කර චාරිකාවක නිරතවෙන්නට තමයි අපේ නඩය බලාපොරොත්තුවෙන් හිටියේ.

image002මෙම සංගිලි පාලම මෑතකදී අළුත්වැඩියාකොට තිබීම සතුටට කරුණක්

මේ චාරිකාවෙදී අපට හමුවුන වැදගත් සංධිස්ථානයක් තමයි බුලත්කොහුපිටිය. ඒක කෑගල්ල දිස්ත්‍රිකයේ පිහිටලා තියෙන, තවමත් අධි නාගරීකරණයෙන් දූෂණය වෙච්චනැති පුංචි නගරයක්. මුහුදු මට්ටමේ ඉදලා මිටර් 42 ක විතර උසකින් තියෙන මේ පුංචි නගරය, ඒ අසලින් ගලනා සුපැහැදිලි ජලයෙන් පිරුණ රිටිගහඔය නමැති සුන්දර දිය ලලනාවගේ ආශිර්වාදය ලබනබවනම් නොකියාම බැහැ. මීටර 1100 පමණ උසකින් යුක්ත දොලොස්බාගේ කඳු පංතියෙන් ආරම්භවන රිටිගහඔය, කැලණිගඟ හා එක්වන ගමනේදී සුන්දර දියඇලි රැසක්ම නිර්මාණය කරණා බව නොකිව්වොත් වැරැද්දක්.

image004සුරඹාඇල්ල ඔබට මුනගැසෙන්නේ ඔබ බුලත්කොහුපිටිය නගර සීමාවට පිවිසීමට පෙරයි

දේදුගල මාර්ගයේදී අපට හමුවුන පලමු සුන්දරිය රිකිල්ල ඇල්ලයි. කලකදී ශිවගිරි ඇල්ල විදිහට හදුන්වා තිබුණ මෙම පුංචි දියඇල්ල, ඉහල ජල පෝෂක පෙදෙසෙහි වනාන්තර විනාශය හේතුකොටගෙන ජලධාරිතාවෙන් අඩුවෙලා තියෙනවා. මෙසේ ශිවගිරි ඇල්ල රිකිල්ලක් පරිද්දෙන් වැහැරීගිය නිසාවෙන් එයට රිකිල්ල ඇල්ල කියන නම ලබාදීඇතිබවයි ගම්මුන් කියන්නේ.

image006රිකිල්ලක් බඳු රිකිල්ල ඇල්ලවවුල්පනේ සංවර්ධන මාවත ආරම්භ වන තැන හොයාගන්නඑක එච්චරම අමාරුවුනේ නැහැ

බුලත්කොහුපිටිය නගරයෙහි ඉදන් කිලෝමිටර 5 ක දුරක් පසුකරන විටත් මාර්ගයෙහි විශාල නැග්මක් දැකගන්න ලැබුනේ නැහැ. එහෙම වුනත් 00/00 පාලම පසුකල වහාම මෙතෙක් අප ගමන්ගත් පටු මාර්ගය, වඩා දුෂ්කර කඳුකර මාර්ගයක් බවට පරිවර්ථනය වූවා. මෙතැන් සිට පල්ලම්පිටිය දක්වා වන මාර්ගයේදී හුන්නස්ගිරිය – මහියන්ගනය මාර්ගයේ සුප්‍රසිද්ධ 18 වංගුව බඳු වැලමිටි වංගු සමූහයක්( 25 කටක් වැඩි) තරණය කිරීමට අපට සිදුවූබව නොකිව්වොත් අඩුවක්. ඒ අතරින් පලමුවෙන් හමුවෙච්ච වැලමිටි වංගුවෙන් දකුණුපසට දිවෙන රළු අතුරු මාර්ගය, සිරිලක සුප්‍රසිද්ධ දියඇලි 25 අතරට ගැනෙන්නක් වන නලඟන ඇල්ලවෙත අපව කැඳවාගෙන යනු ලැබූවා.

image008නලඟන ඇල්ල

ආරක්‍ෂිත තැනක් නොවෙයි

ආරක්‍ෂිත තැනක් නොවෙයි

image012

නලඟන ඇල්ල බොහෝ සුන්දර ස්ථානයක් වුනත් ස්නානය කරන්නට නම් ආරක්‍ෂිත තැනක් නොවෙයි. එහෙම ස්නානය කරන්නට කැමති කෙනෙකුට, ප්‍රධාන මාර්ගය ඔස්සේ තවදුරටත් ඉහලට ගමන්කර, නලඟන ඇල්ලෙහි විදුලිබලාගාරයෙහි තුළුමග (intake) ට මදක් ඉහලින්, ගම්වාසින් විසින් පරිහරණය කරනුලබන ආරක්‍ෂිත නාන තොටුපල ඒ සඳහා යොදාගන්න පුළුවන්. උවමනා අඩුවැඩිය සපුරාගන්නට කඩ පොඩිත්තකුත් එතන තියෙනවා ඔන්න. ඔබටත් යම් දවසක මේ සීතල දියදහරේ ගිලෙන්නට අවස්ථාවක් ලැබුනොත්, මේ පිරිසිදු ජලයට සබන් එකතු නොකරන්නට වගබලාගත්තොත් තමයි වැඩිය හොද.

ආරක්‍ෂිත නාන තොටුපල

ආරක්‍ෂිත නාන තොටුපල

තවදුරටත් ඉහල බලායන ගමනේ මිලඟ නැවතුමවුනේ රුක්මල් ඇල්ලයි. මාර්ගය ආසන්නවම පවතින රුක්මල් ඇල්ල, රිටිගහ ඔයෙහි අතු ගංගාවකින් උප්පත්තිය ලබනවා. රිටිගහ ඔය කුඩා විදුලිබලාගාර රැසකට ජීවය ලබාදෙනවා. විදුලිය වෙනුවෙන් රිටිගහ ඔය ආශ්‍රිත ඇතැම් සුන්දර දියඇලි, සිය අලංකාරවත්බව කැපකර තිබීම සංවේගයට කාරණයක්. රුක්මල් ඇල්ල ආසන්නවත් අළුතින් බලාගාරයක් ඉදිවෙමින් පවතින බවතමයි එතැනදී අපට හමුවූ ගම්වැසියකු කියා සිටියේ. ඒ බලාගාරයෙහි තුළුමගත් ඇල්ලට ඉහලින් සවිකලහොත් ඉතිං රුක්මල් ඇල්ලටත් දෙවියන්ගේ පිහිට තමයි.

මාර්ගය ආසන්නවම පවතින රුක්මල් ඇල්ල

මාර්ගය ආසන්නවම පවතින රුක්මල් ඇල්ල

රුක්මල් ඇල්ල

රුක්මල් ඇල්ල

රුක්මල් ඇල්ල

රුක්මල් ඇල්ල

මෙතැන් පටන් ඉහල පල්ලම්පිටිය දක්වාම තියෙන්නේ සීඝ්‍ර නැග්මක්. එහෙම වුනත් බුලත්කොහුපිටියේ සිටම අපත් එක්ක රැඳීහිටපු රිටිගහ ඔයත්, බිඳෙන් බිඳ ප්‍රමාණයෙන් කුඩා වෙමින්-එහි ලමාකාලය ලබමින් වුනත් පල්ලම්පිටිය දක්වාම අපත් සමගම ගමනේ යෙදුනා.

රිටිගහ ඔය - ලමාකාලය ලබමින්

රිටිගහ ඔය – ලමාකාලය ලබමින්

බොහෝම සුන්දර කඩමංඩියක් වෙච්ච ඉහල පල්ලම්පිටිය, මෙයට දශක ගනනාවකට පෙර පැවති චිත්‍රපටයක පසුතල දර්ශන සිහිගන්වන බවයි කියන්න තියෙන්නේ. මෙතැන්සිට මඳක් පහල බසින්නකුට තවත් සුන්දර දියඇල්ලක් නරඹන්නට අවස්ථාවක් ඇතිබවත් කියන්න ඕන. හැබැයි රජෝ ඒ ගමන නම් ටිකක් විතර වෙහෙසකරයි. මෙවර අපේ නඩයෙහි ජේෂ්‍ඨ පුරවැසියන් දෙපලක්ම (ප්‍රතිශතයෙන් 50% ක්) හිටපු නිසා ඒ ගමන මෙවර අත්හැර දමන්න සිදුවුණා. ඒත් කලින් වතාවක ගත්ත පිංතූර කිහිපයක් මේ පැත්තේ සංචාරයේ යෙදෙන්නට කැමැත්තෙන් ඉන්න ඔබසැමගේ පහසුව තකා ඉදිරිපත් කරන්න හිතුවා.

දිය වැගිරෙන ඇල්ල

දිය වැගිරෙන ඇල්ල

ඉහල පල්ලම්පිටිය කඩමංඩිය

ඉහල පල්ලම්පිටිය කඩමංඩිය

මේදක්වා ගමන්ගත්ත තාරදමා සකස්කරන ලද විධිමත් මාර්ගය, ඉහල පල්ලම්පිටියෙන් අවසන් වුනා. මෙතැන් පටන් දොලොස්බාගේ දක්වා යන මාර්ගය අන්තරාදායක වංගු සහ කදු පල්ලම් සහිත රළු මාර්ගයක්. ඒ නිසාම එය තරණය කිරීම සදහා යතුරුපැදි හෝ උස්/රළු වාහනයක් අවශ්‍ය වෙනවා. කොහොම වුනත් මේ මාර්ගය, විටෙක මිහිදුමින් පිරි සුන්දර භූමිදර්ශන රැසක් සහිත තේවතු සමූහයක් හරහා දිවෙන්නක්. ඒ නිසාම අපේ කැමරා කාචයන්ටනම් කිසිදු විවෙකයක් තිබුනේ නැහැ.

මිහිදුමින් පිරි සුන්දර භූමිදර්ශන

මිහිදුමින් පිරි සුන්දර භූමිදර්ශන

කැමරා කාචයන්ට විවෙකයක් තිබුනේ නැහැ

කැමරා කාචයන්ට විවෙකයක් තිබුනේ නැහැ

සුන්දර දර්ශන

සුන්දර දර්ශන

දුර ගැන සටහනක්

දුර ගැන සටහනක්

මිහිදුමින් පිරි කදු පල්ලම් සහිත මාර්ගය

මිහිදුමින් පිරි කදු පල්ලම් සහිත මාර්ගය

දුෂ්කර ගමනක් අවසාන කරමින් වැසි මැද්දේම දොලොස්බාගේ නගරයට පිවිසුන අපගේ බලාපොරොත්තුව වුනේ තවදුරටත් ඉදිරියට ගමන්කරමින් නාවලපිටියට ලඟාවීමයි. ඒත් දොලොස්බාගේදී අපට අසන්නට ලැබුනේ බෝක්කුවක් අබලන්විම හේතුකොටගෙන, දොලොස්බාගේ සිට නාවලපිටිය දක්වාවූ මාර්ගය වසාදමා ඇතිබවයි. ඒ නිසා තවදුරටත් විකල්ප මාර්ග වල පිහිටපතන්නට අපට සිදුවුනා.

දොලොස්බාගේ නගරය

දොලොස්බාගේ නගරය

නාවල පිටියට පිවිසීමත් සමගම අප නැවතත් නූතන සමාජයට ප්‍රවිශ්ඨවූබවක් අපට හැඟීගියා. එහෙම හිතුනේ, එතැන්පටන් අපේ ගමන්මාර්ගය යෙදී තිබුනේ විදුලියෙන් ආලෝකමත්වන ගොඩනැගිලි අතරින් දිවෙන, කාපට් අතුරන ලද මාර්ග ඔස්සේ වූ නිසයි. උලපනේ සිට කොත්මලේ දක්වා ගමන අතරතුරදී, උලපනේ මෝඩයාගේ පාලම බලන්නත් අප අමතක කලේ නැහැ. සම්මුතියට එකඟ නොවූ ඉදිකිරීමක් වුන නිසා (තාක්‍ෂණයට අනුව මෙය නිවැරදි වුනත්) මෙය “සුද්දාට“ සිදුවූ අත්වැරැද්දක් ලෙසින් සැලකූ අපේ ගැමියන් මෙය මෝඩයාගේ පාලම ලෙසින් නම්කර තිබෙනවා.

මෝඩයාගේ පාලම

මෝඩයාගේ පාලම

ප්‍රමාදවී ගමන් ඇරඹූ නිසාත්, විවෘත ජීප්රථය අතරමඟදී වැසි ගනනාවකට හසුවීම නිසාත්, අප කොත්මලයට ලඟාවනවිට බොහෝ සවස්වී තිබුණා. ඒ නිසාවෙන් නැරඹුම්/තොරතුරු මධ්‍යස්ථානය තුල වැඩිමනත් කල් ගත නොකර, වේල්ල නැරඹීම සඳහා නැවත පහලට ධාවනය කරන්නට අපට සිදුවුනා. වේල්ල හරහා නැරඹුම් කාර්යයන් වෙනුවෙන් වාහන ධාවනයට අවසර නැතිනමුදු, පුසුල්පිටිය විහාරය වන්දනාවේයන කුඩාවාහන සදහා එම අවසරය හිමිවනබව දැනසිටීම ඔබටත් වැදගත්වෙන්න පුළුවන්.

කොත්මලය ජලාශය
කොත්මලය ජලාශය

කොත්මලය ජලාශය

කොත්මලය වේල්ල

කොත්මලය වේල්ල

වේල්ල නැරඹීමෙන් අනතුරුව, දවසේ ගමනාන්තය කරා අප නැවතත් ගමන් ආරම්භ කලා. දුටුගැමුණු කුමාරයා කොත්මලයට ඇතුළුවූ ස්ථානය ලෙසින් වංශකථාවල සඳහන්වන කඩදොර නම් ස්ථානය අසලින් ඉහලට දිවෙන පටු මාර්ගය ඔස්සේ අපගේ ගමන්මාර්ගය යෙදී තිබුණා. මිනිත්තු 15 ක පමණ ධාවනකාලයකින් අනතුරුව අපගේ චාරිකාවේ කූටප්‍රාප්තියවූ මහවැලි මහා සෑය වෙත අප පිවිසෙනු ලැබූවා. නූතන යුගයේ ඉදිවූ සුවිසල්ම චෛත්‍ය කර්මාන්තයවූ මෙය, දිවංගත ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ ඉංජිනේරුතුමන්ගේ සැලසුමක් මත සිදුවූ නිර්මාණයක්. 1983 අවුරුද්දේ මාර්තු 20 වෙනිදින ඉදිකිරීම් ආරම්භකරඇති මෙම සුවිසල් නිර්මාණය, තවමත් ඉදිකිරීම් කටයුතු අවසන්කර නැහැ. ඉතාම සුන්දර පරිසරයක ස්ථානගතව තියෙන මෙය මහවැලි කඩිනම් ව්‍යාපෘතියේ නිර්මාතෘ දිවංගත ගාමිණී දිසානායක මහතාගේ සංකල්පයක් මත කොත්මලේ ජලාශය නිසා නැතිවූ පූජා ස්ථාන සිහිපත් කිරීම වෙනුවෙන් නිර්මාණය වුවක්බව සදහන් කරන්නම වෙනවා.

මහවැලි මහා සෑය

මහවැලි මහා සෑය

තවමත් ඉදිකිරීම් කටයුතු අවසන්කර නැහැ

තවමත් ඉදිකිරීම් කටයුතු අවසන්කර නැහැ

නඩේගුරා කණ්ඩාමෙහි සංචාර කිහිපයක් කොත්මලේ මිටියාවතට යෙදුන නිසා මහවැලි මහා සෑය ගැන වැඩිවිස්තර අවශ්‍ය කෙනෙකුට පහත සබැඳියාව පාවිච්චි කරන්නත් පුළුවන්.

http://www.srilankantravellers.com/sinhala/2011/03/kothmale-mahaweli-maha-seya/

නැවතත් මෙවන් සොඳුරු සංචාරයකින් හමුවනතුරු,

ජය වේවා!

(මෙය සඳහා රාජ්‍ය ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ ලිකිත අවසරය අනිවාර්යය වේ.)

ගොනු කර ඇත්තේ: දියඇලිපෞරාණික උරුමයසංස්කෘතික සවාරි

Tags:

RSSComments (10)

Leave a Reply | Trackback URL

  1. රවීන් says:

    නියමයි සහෝ..නියම ගමනක්.මමත් මේ පාරේ කොත්මලේ යන්න ආසාවෙන් හිටියේ.පාරේ තත්වය නොදන්නා නිසා ගමන ගියේ නෑ.දැන්නම් තේරෙන විදිහට සාමාන්‍ය වාහන වලට මේ මාර්ගයේ යන්න බෑ වගෙයි.මහවැලි මහා සෑයට හැරෙන්නේ නැතිව මාවෙල හරහා පුස්සැල්ලාවට මම ගිහින් තියනවා.ඒ පාරත් මාර ලස්සනයි.මාවෙල කියන ගමේ දුටුගැමුණු රජතුමා කොත්මලේ ඉන්න කාලේදී නාපු පීල්ල තවමත් තියනවා.ඒකට රජ පීල්ල කියලයි ඒ පැත්තේ අය කියන්නේ.ඒකේ කොච්චර වතුර අඩු කාලයක වුවත් වතුර හිදෙන්නේ නැතිලු.නාන්න නම් කියාපු තැනක්.
    ජයවේවා..!!

    • රවීන් says:

      තව දෙයක් කියන්න ඕනේ.මොණර පීල්ල කියලා කියන්නෙත් මේකටම තමයි.

      • viraj says:

        හිතවත් රවීන්,

        වැඩි විස්තර දැක්විම පිලිබදව බොහෝම ස්තුතියි. කොත්මලේ කියන්නේ ඓතිහාසිකව වැදගත් වගේම බොහොම සුන්දර පලාතක්.
        දිගටම අපත් එක්ක රැදෙන්න

        • රවීන් says:

          මම නඩේගුරා වෙබ් අඩවිය ආරම්භයේ සිටම රැදී ඉන්නවා.තවමත් ඉන්නවා.ඉදිරියටත් එසේමයි.ඒ වගේම ආශාවෙන් කියවනවා.ඊලග පෝස්ට් එක එනකල් හරිම නොඉවසිල්ලෙන් තමයි ඉන්නේ.මම තව යොජනාවක් ලෙස එක දෙයක් කියන්න කැමතියි.මින් ඉදිරියට සිදුකරන සෑම සංචාරයකම යන ගමන් මාර්ගය Google Map එකක දාන්න පුළුවන්නම් ගොඩක් වටිනවා සහෝ….ඔබට ජය!!!

    • viraj says:

      හිතවත් රවීන්,

      අගය කිරීම පිලිබදව ස්තුතියි.

  2. Dilshan says:

    “මේ පිරිසිදු ජලයට සබන් එකතු නොකරන්නට වගබලාගත්තොත් තමයි වැඩිය හොද” මේ කියමනට තමයි මම වැඩියෙන්ම කැමති. වනගත ජලප්‍රවාහයන්හි ස්නානය කරනවා නම් කවදාවත් සබන් පාවිච්චි කරන්න එපා.
    ඉතාම සුන්දර සටහනක්. බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට.

    • viraj says:

      හිතවත් ඩිල්ෂාන්,

      බොහොම ස්තුතියි අපගේ පුංචි උත්සාහය අගය කිරීම වෙනුවෙන්.

  3. jayarathna says:

    ගමන වගේම ගමන් විස්තරයත් අලංකාරයි මල්ලි.

  4. Praසන්ன says:

    නියම චාරිකාවක්.
    විදුලි බලාගාර නිසා දියඇලි විනාශවෙන එකනං කණගාටුවට කරුණක්.

Leave a Reply